කිතුල් පැණි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට කටයුතු යොදන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස්දී තිබේ.
එම නීති හා රෙගුලාසි සැකසීමේ කටයුතු මේ වන විට කිතුල් සංවර්ධන මණ්ඩලයෙන් අවසන් කර ඇති අතර, නොබෝ දිනකින් එය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
විශේෂයෙන් කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ඉහළ ඉල්ලුමක් පවතින නිසා කිතුල් පැණිවල ප්‍රමිතිය තහවුරු කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ඇමැතිවරයා පසුගියදා කිතුල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සමඟ කළ සාකච්ජාවකදී අවධාරණය කර තිබිණි.
දැනට අලෙවි කරන කිතුල් පැණි හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය සම්බන්ධව ඇතැම් අවස්ථාවල ගැටලු සහගත තත්ත්වයන් පැන නැඟී ඇතැයි ඇමැතිවරයාට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව ඇතැම් නිෂ්පාදනවලට සීනි මිශ්‍ර කිරීම නිසා කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදන අලෙවියේ දී නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව වී තිබේ. ඒ අනුව කිතුල් පැණි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ආරක්ෂා කිරීම සඳහා නව නීති හා රෙගුලාසි මාලාවක් හඳුන්වා දීම සිදු කළ යුතු බවට ඇමැතිවරයා විසින් තීරණය කරන ලදි.
එමෙන්ම අප රටේ ඇති සමස්ත කිතුල් ගස් ප්‍රමාණය මිලියන 03ක් වන නමුත් එයින් ප්‍රයෝජනයට ගන්නේ සියයට 20කි. ඉතිරි ප්‍රමාණයෙන් ප්‍රයෝජනයක් ගැනීමට කිතුල් කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම පරිදි වන ජීවී හා වන සංරක්ෂණ කලාපවල ඇති කිතුල් ගස් මැදීම සඳහා වැඩපිළිවෙළක් සැකසීමට ද ඇමැතිවරයා පියවර ගෙන ඇත. එම කර්මාන්තයේ යෙදෙන්නන්ට වන සංරක්ෂණ කලාපවලට ඇතුළුවීමට අවසර දෙන ඇමැතිවරයා වන ජීවී හා වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර එයට ද මේ වන විට එකඟතාව පළ කර තිබේ.
මේ නිසා 2024 වසරේ මෙරට කිතුල් කර්මාන්තයේ සංවර්ධනයට රුපියල් මිලියන 24ක මුදලක් වෙන් කරමින් 2023 වසරට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මෙවර අය-වැයෙන් දීමට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ද ඇමැතිවරයා සඳහන් කරයි. එමෙන්ම කිතුල් කර්මාන්ත සංවර්ධනයට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසාය වැඩසටහන හා ඒකාබද්ධව කටයුතු කරන ලෙස ද ඇමැතිවරයා කිතුල් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දී ඇත.