Home » හෙටට ඔබින නව විදෙස් පිළිවෙත සහ ආරක්ෂක සමාලෝචන වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුවට

හෙටට ඔබින නව විදෙස් පිළිවෙත සහ ආරක්ෂක සමාලෝචන වාර්තාව නුදුරේදීම පාර්ලිමේන්තුවට

by gayan
November 23, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

අනාගතය දෙස බලා සකස් කරනු ලබන ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක සමාලෝචනය පිළිබඳ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඔහු මේ අදහස් පළ කළේ, රත්මලාන ඊගල් ලේක් සයිඩ් පරිශ්‍රයේ පෙරේදා (21) පැවති ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි. එම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 36 දෙනකු වෙත උපාධි පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ වාර්ෂික ග්‍රන්ථයේ පළමු මුද්‍රණය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු වූ අතර, ජාතික ආරක්ෂක විද්‍යායතනයේ සේනා විධායක මේජර් ජෙනරල් ඩී.ජී.එස්. සෙනරත් යාපා මහතා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිළිගැන්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ආරක්ෂක ක්ෂේත්‍රය පැතිරී පවතින පුළුල් පරාසය හඳුනාගනිමින් සාමාන්‍ය ජනතාව හා රජයේ නිලධාරීන් සඳහාද කෙටි කාලීන පාඨමාලා පැවැත්වීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් පුළුල් ජාතික ආරක්ෂක උපාය මාර්ගයක් සකස් කළ යුතු බවද සඳහන් කළේය.

දෙවැනි ලෝක යුද සමයේ අද්මිරාල් එඩ්වින් තෝමස් ලයිටන් මහතාගේ නිවහන වූ වත්මන් ජාතික ආරක්ෂක විද්‍යාල ගොඩනැඟිල්ල, 1942දී ආරම්භ වූ දෙවැනි ලෝක යුද්ධයේදී ඉන්දීය සාගරය සම්බන්ධයෙන් ගනු ලැබූ උපායමාර්ගික තීරණ පිළිබඳ සාකච්ඡාවල කේන්ද්‍රස්ථානය බවට පත් වූ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය. ඒ වකවානුවේ එහි සිට ගනු ලැබූ තීරණ, ඉන්දීය සාගරයේ බ්‍රිතාන්‍ය පාලනය පවත්වාගෙන යෑම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දෙවැනි ලෝක සංග්‍රාමයට පසු යුගයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය වැනි නායක නායිකාවන් ඉන්දීය සාගර කලාපය ලෝකයේ මහා බල එදිරිවාදිකම්වලින් මුදා තබාගැනීමේ අරමුණ සඳහා පෙරමුණ ගත් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය. ඒ දැක්ම පසුකාලීනව බැන්ඩුන් සම්මේලනයේදී සහ ජකර්තා ප්‍රකාශයෙන් අනුමත කරමින් ස්වාධීන ස්ථාවරයකින් ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට ඇති කැප වීම පිළිබිඹු කළ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගෝලීය වශයෙන් භූ දේශපාලනික වෙනස්කම්වලට භාජනය වන විට, ඒකධ්‍රැවීය ලෝකයක සිට වඩාත් සංකීර්ණ හා ඒකාබද්ධ ලෝකයක් වෙත පරිවර්තනය වන බවත්, ජනාධිපති බයිඩන් යටතේ එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තියේ මෑතකාලීන වෙනස්කම් මේ තත්ත්වය තවත් සංකීර්ණ කිරීමට හේතු වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

G7 සහ සිව්පාර්ශ්වීය ආරක්ෂක කතිකාව (Quad) වැනි සන්ධාන බිහි වීම, ගෝලීය පිළිවෙළ තුළ චීනයේ ගමන්මඟ යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම වෙනස් වන භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාව උපායමාර්ගික වශයෙන් දක්ෂ ලෙස හැසිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

යුක්‍රේන යුද්ධය, චීනයේ නාවික බලය සහ ඊශ්‍රායලයේ පවතින ගැටුම් ආශ්‍රිත පසුබිම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්වයංපෝෂිතභාවය ද පවත්වා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව සඳහා ජිනීවා වැනි සාම්ප්‍රදායිකව අවධානය යොමුවන ක්ෂේත්‍රවලින් ඔබ්බට දිවෙන විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ගෝලීය දකුණේ සමාන අදහස් ඇති ජාතීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙම සන්දර්භය තුළ තීරණාත්මක වන බවද ජනාධිපතිවරයා පැවසීය.

2030 වන විට හරිත හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සඳහා ඩොලර් බිලියන 10 ක ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ඉලක්කය පිළිබඳ සාකච්ඡා සඳහා තමන් සහභාගී වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍ය බව ද පැවසීය.

දේශගුණික විපර්යාස සහ වෙළෙඳාම වැනි ජාත්‍යන්තර ගැටලු සඳහා විසඳුම් සෙවීම G77 රාමුව තුළ සිදුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම එළැඹෙන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත නොබැඳි ජාතීන්ගේ සමුළුව සහ G77 සමුළුවේදී ගෝලීය දකුණට එම අරමුණු නැවත අර්ථ දැක්වීමට සහ ගෝලීය සාමය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණාත්මක වේදිකාවක් සපයනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අනාගතය දෙස බලමින් සකස් කරනු ලබන ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂක සමාලෝචනය පිළිබඳ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ආරක්ෂාව, ආර්ථිකය මෙන්ම පරිසරය වැනි මෙතෙක් කාලයක් නොසලකා හරින ලද ක්ෂේත්‍රයන් පිළිබඳ සොයා බලා ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන ගෝලීය භූ දර්ශනය තුළ ශ්‍රී ලංකාව ද සිය ගමන් මඟ සලකුණු කරන විට, පුළුල් පරාසයක පැතිරුණු ඔරොත්තු දීමේ හා ඉදිරි දැක්මක් සහිත ජාතික උපායමාර්ගයක් සකස් කරගැනීම වැදගත් බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර, විදෙස් හමුදා නිලධාරීන් ඇතුළු ආරාධිතයෝ සහ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ උසස් නිලධාරීහු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT