Sunday, May 11, 2025
Home » රාජ්‍ය ආදායම් අහිමි කරන කඩාකප්පල්කාරී වැඩට ඉඩ දෙන්න එපා

රාජ්‍ය ආදායම් අහිමි කරන කඩාකප්පල්කාරී වැඩට ඉඩ දෙන්න එපා

අධිවේගී මාර්ගවල මුදල් එකතු කරන්න ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා

by gayan
November 23, 2023 1:00 am 0 comment

සුභාෂිණි සේනානායක, මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි
අධිවේගි මාර්ගවල මුදල් අය කරගැනීමට යෙදවූ හමුදා නිලධාරීන් ඇමැතිවරයා හමු වූ අවස්ථා

ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන

අධිවේගී මාර්ගවල පිවිසුම් සඳහා ස්වයංක්‍රීයව මුදල් අය කෙරෙන ඩිජිටල් තාක්ෂණික ක්‍රමවේදයක් පිළිබඳ අත්හදා බැලීමක් සිදු කර ඇති බවත්, එය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ මඟින් රාජ්‍ය ආදායම අවහිර කරන කඩාකප්පල්කාරි ක්‍රියා සඳහා ඉඩ නොදෙන තත්ත්වයක් ඇති කිරීමට මැදිහත් වන ලෙසද ජනාධිපතිවරයගෙන් ඉල්ලීමක් කරන බවත් ඇමැතිවරයා කීවේය.

අධිවේගී මාර්ගවල මුදල් අයකැමිවරුන් ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තිය සමිති කීපයක් ක්‍රියාත්මක කර ඇති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය සඳහා පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා කොට්ටාව සහ අතුරුගිරිය අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවල විශේෂ නිරීක්ෂණයක ඊයේ (22) නිරත වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

මේ වන විට කොට්ටාව අධිවේගී මාර්ග අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ යුද හමුදාවේ නිලධාරීන් මඟින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදු කරන අතර, අතුරුගිරිය අන්තර් හුවමාරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් විසින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීම සිදු කරනු ලබයි. මේ ස්ථානවල කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය:

“අසනීප නිවාඩු වාර්තා කර ඇති වර්ජකයන් විසින් අධිවේගී මාර්ගවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ මුදල් අය කිරීමට නොහැකි තත්ත්වයකට පත් කර තිබෙනවා. අධිවේගී මාර්ගවල සේවයේ නිරත සියලු දෙනා අසනීප නිවාඩු වාර්තා කරමින් වෙනත් අයකුට රාජකාරි සිදු කිරීම සඳහා භාවිත කළ හැකි යන්ත්‍රසූත්‍ර උපකරණ සියල්ල ගලවාගෙන ගොස් තිබෙනවා. ඒ සියලු යන්ත්‍රසූත්‍ර පොදු දේපළ. ඒවා කඩා බිඳ තබා තිබෙනවාද කවර ආකාරයේ තත්ත්වයක තිබෙනවාද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමකින් තොරව යුද හමුදාවට හෝ වෙනත් පාර්ශ්වයකට භාර දී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට දීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් මේ වන විට තාවකාලික ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරමින් රජයේ ආදායම අහිමි වීම වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

“රටක් වශයෙන්, රජයක් වශයෙන් බරපතළ මූල්‍ය අර්බුදයක්, ආර්ථික අර්බුදයක් මත සිටින අවස්ථාවක රජයට ලැබිය යුතු ආදායම නොලැබී යෑමෙන් ඇති වන තත්ත්වය තුළ ජනතාවට තව තවත් බදු පීඩනය වැඩි වීමේ අවදානමක් ඇති වනවා. ආදායම් ලබාගත හැකි මාර්ගවල ආදායම් අහිමි වීම මෙවැනි ක්‍රියාමාර්ගවලින් සිදු වනවා. මෙය දේශපාලන ක්‍රියාමාර්ගයක්. වෘත්තීය සමිති වශයෙන් ගෙන ඇති මේ ක්‍රියාමාර්ගය දේශපාලන වශයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ වෙනස් කිරීම සඳහා බල කරන වර්ජනයක්. එය සිදු කළ නොහැකියි. ඔවුන්ගේ ඕනෑම දුක්ගැනවිල්ලක් පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මා මැදිහත් වී තිබෙනවා. අමාත්‍යවරයකු සතු බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ හැකියාවක් මට නැහැ. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, වැටුප් හා සේවක කොමිෂන් සභාව, වැනි ආයතනවලට ඉදිරිපත් කර ඇති කරුණු අනුව ඒවායේ තීන්දු තීරණවලට වගකිව යුතු අමාත්‍යවරයකු වශයෙන් යටත් විය යුතුයි. ප්‍රචණ්ඩත්වය සහ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියා මාර්ග මඟින් ඒවාට දණගැසීමේ හැකියාවක් නැහැ. එම නිසා ඉතා ඉක්මනින් තමන් සතුව යම් කිසි රාජ්‍ය දෙපළක් පවතිනවා නම්, තමන් වැඩ නොකරනවා නම් වැඩ කළ හැකි කෙනෙකුට මේ දේපළ භාර දෙන ලෙස මා ඉල්ලීමක් කරනවා. ඒ දේපළවලට යම්කිසි හානියක් කර තිබෙනවා නම් පරීක්ෂණයකින් අනතුරුව දිය හැකි නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

“දැනට ඩිජිටල් තාක්ෂණය යටතේ ස්වයංක්‍රීයව මුදල් අය කිරීම, ඇතුළු වීම සහ පිට වීම පාලනය කළ හැකි, වංචා දූෂණ සිදු කළ නොහැකි, ආරක්ෂිත කැමරා පද්ධති ආදිය ඇතුළත් ක්‍රමවේදයක් පිළිබඳ අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා. මෙය ඉතාමත් කඩිනමින් සම්පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයට පත් කර පුර්ණ ඩිජිටල්කරණය සඳහා අවසර දෙන ලෙසත් ඒ තුළින් රාජ්‍ය ආදායම අවහිර කරන කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා ඉඩ නොදෙන තත්ත්වයක් ඇතිකිරීමට මැදිහත් වන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් සිදු කරනවා. මහජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන, ආයතනය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආදායමක් ඉපයීම නොකරන ස්ථානවල, උපයන ආදායම හෝ උපයාගැනීමට අවහිර කිරීම ජාතික අපරාධයක්. ඒ අපරාධය සිදු වීමට අප ඉඩ දෙන්නේ නැහැ.

“පසුගිය සතියේ නිලධාරීන් සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක දී පැහැදිලිවම මේ වර්ජන ක්‍රියාමාර්ගය සිදු නොකරන ලෙස උපදෙස් ලබා දුන්නා. මේ වන විට අය වැය සම්මත වී, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවැනි වාරිකය ලබාගෙන, ණය ප්‍රතිව්‍යූහගතකරණය කරගැනීමට උත්සාහ කරන රටක් වශයෙන් ජාතික ප්‍රයත්නයක් දරන අවස්ථාවක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් හා පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් රාජ්‍ය දේපළ මෙලෙස යොදාගැනීමට ඉඩ දීමට හැකියාවක් නැහැ. මේ මඟින් රජයේ ආදායම් උපයාගැනීම ඕනෑකමින්, සැලසුම් සහගතව නතර කර තිබෙනවා. අප ඒ ගැන සොයා බලනවා.”

ඡායාරූප – සුලෝචන ගමගේ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT