වසර 10ක් පුරා ක්‍රියාත්මක ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ කෙටුම්පත ලබන සතිය තුළදී අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.
වසර 2023 සිට 2033 දක්වා මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
දරුවන් ස්ථානගත කිරීම සහ පාසල් ව්‍යූහගත කිරීමේ ගැටලුවක් පවතින බවත් මෙම කාරණා සම්බන්ධයෙන් තොරතුරු ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කළ බවත් ඇමැතිවරයා පැවසුවේය.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට අධ්‍යාපන ප්‍රතිපත්ති පැහැදිලි කිරීමේ පැය දෙකක වැඩසටහනක් ලබන 24 වැනිදා පැවැත්වෙන බවත් දරුවන් 4 දෙනා 6 දෙනා සිටින පාසල්වලට ගුරුවරුන් ලබාදීම නිසා මානව සම්පත අපතේ යාමක් සිදු වන අතර ඒ සම්බන්ධයෙන් වඩාත් සාර්ථක පැහැදිලි කිරීම් රැසක් මේ වැඩසටහන තුළදී ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ජාතික පාසල්වලට ගුරුවරුන් 1700ක් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය පසුගිය සතියේ නිකුත් කළ බවත් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ගණිතය, උසස් පෙළ සඳහා වන විදේශ භාෂා, ඉංග්‍රීසි භාෂාව ඇතුළු තාක්ෂණ විෂය ධාරාවන්ට ප්‍රමාණවත් ලෙස ගුරුවරුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා කීය.
අධිකරණ නඩුව අවසන් වන්නේ නම් සෙසු විෂයන් සඳහා ද ඉක්මණින්ම ගුරුවරු බඳවා ගැනීමට හැකියාව ලැබෙන්නේ යැයි ද, අධිකරණ නඩුව අවසන් වන තෙක් නොසිට බස්නාහිර පළාතේ උපාධිධාරීන් 4000ක් බඳවා ගැනීමට මේ දිනයන්හි සම්මුඛ පරීක්ෂණ පවත්වන අතර විශ්‍රාම ගිය හා සේවය හැර ගිය අය වෙනුවට මෙම බඳවා ගැනීම් සිදු කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.