ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයකු සිදු නොකළ තරමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් තමාගේ පාලන කාලය තුළදී ක්‍රියාත්මක කළ නිසා ජනාධිපතිවරයා යටතේ පැවති අමාත්‍යාංශ හා කාර්ය මණ්ඩල වෙත අය වැයෙන් වැඩි මුදලක් එකල වෙන් කිරීමට සිදු වූයේ යැයි හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.
අයවැය කාරක සභා අවස්ථාවේ පළමු දින විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
මම ජනාධිපති ධුරය දරන කාලයේ වියදම් වැඩියි කියලා පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රකාශයට පත් කර තිබුණා. මම එය පිළිගන්නවා. එහෙම වියදම වැඩි වුණේ මම කාලා බීලා නෙවෙයි. කිසිදු ජනාධිපතිවරයකුගේ කාලයේ නොතිබූ විශේෂ ව්‍යාපෘති රැසක් මගේ කාලයේ දී මම ක්‍රියාත්මක කළා. ඒ නිසා මගේ කාර්ය මණ්ඩලවලට වැඩි මුදල් යෙදවීමට සිදු වුණා. වකුගඩු අරමුදලක් ද අපි ඒ කාලයේ හැදුවා. එය මේ වන විට නැවතී තිබෙනවා. එය නැවත ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පරිසර සංරක්ෂණය සඳහා කළ ජාතික පුළුල් වැඩපිළිවෙළට ද ඉතා විශාල මුදලක් වැය කළා. එක් දිනකදී ගැසට් 65ක් මම අත්සන් කළා. සිංහරාජ වනාන්තරය තමයි මේ රටේ ජනතාවට හුස්ම ගැනීමට තිබෙන්නේ. 2019 වසරේදී සිංහරාජය කපලා මහ පාරක් හැදුවා. පසුව ලොකු වැස්සක් ඇවිත් ඔක්කොම හෝදගෙන ගියා. ගංගා ඇළදොළවල මැණික් තිබෙන ප්‍රදේශවල කිසිදු නීතියක් නැතිව යන්ත්‍ර සූත්‍ර යොදවා මැණික් ගැරීම කරනවා. එය වහාම නතර කරවන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. මත්ද්‍රව්‍ය වැඩසටහනටත් ඉතා විශාල මුදලක් අපි වියදම් කළා.
ආණ්ඩුවෙන් ආණ්ඩුව වෙනස් වුණාම එක් ආණ්ඩුවක් කළ හොඳ වැඩ පවා අනෙක් ආණ්ඩුව නතර කරනවා. අග්‍රවිනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හා අභියාචනාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් නම් ප්‍රකාශ කරමින් විවේචනය කිරීම ඉතාම වැරදි. වසර හතරකට ආසන්න කාලයක් ඉඳලත් සෑහෙන පිරිසක් ස්ථාවර නියෝග නොදැනීම ගැන කනගාටුයි.