අය වැයෙන් වැඩිම වැය ශීර්ෂයක් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ, ආයතනවලට වෙන් කර ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.
අය වැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
මේ ආර්ථික අර්බුදයක් තියෙද්දි වියදම් කපා හරිනවා කියලා ආණ්ඩුව කිව්වට ජනාධිපති වැය ශීර්ෂය රුපියල් මිලියන 965 කින් මෙවර වැඩි කළා. හරි පැහැදිලියි. රටේ වියදම් පාලනය කරන්න කියනවා. නමුත් රටේ මුල් පුටුව ඒ ආදර්ශ දෙන්නේ නැහැ. මේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය ඇතුළු අනෙකුත් අයට වියදම් කරන මුදල් ප්‍රමාණය ගත්තොත් කැබිනට් ඇමතිවරු 27ක් ඉන්නවා. අගමැති ඉන්නවා. ජනාධිපතිවරයාට වෙන් කරගෙන තියෙනවා මුළු වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ දෙදහස් හයසිය අසූහතරක්. ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ හතක් තියෙනවා. ඒ සඳහා විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා. පොහොට්ටුව පත්කළ ජනාධිපති එක්ක ඇමතිවරු විසිහතක් ඉන්නවා. පොහොට්ටුවේ අයට සියයට විසි එකයි තියෙන්නෙ. අගමැතිවරයාට සියයට 12, රටට දීලා තියෙන ආදර්ශය මේකද. ඉස්සර වුණෙත් ඕක. රටේ ජනතාව පීඩනයක. බඩු මිල දරාගන්න බැරුව. ණය බර දරාගන්න බැරුව. ලයිට් බිල් වතුර බිල ගෙවාගන්න බැරි තත්ත්වයක රටේ ආර්ථිකය බංකොලොත් කරලා ආර්ථික වශයෙන් කඩා වට්ටලා ඒකේ ගොදුරක් බවට රටේ ජනතාව පත් කරලා. ආර්ථික වශයෙන් රට ප්‍රපාතයට වට්ටපු අය මේ අය වැය හරහා මුදල් වෙන් කර ගන්නවා. ඒ අයගේ වියදම් නඩත්තු සඳහා වියදම් කරනවා.