ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර එය අය-වැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව දෙසැම්බර් 06 වනදා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පෙරේදා (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද පැවැසීය.
මෙවර අය-වැය සකස් කිරීමේ දී විශේෂයෙන් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වුණා. 2023 වර්ෂයේ අපගේ රාජ්‍ය ආදායම ඉලක්ක කළ ප්‍රමාණයට වඩා 16%ක් පමණ අඩු වුණා. ඍණාත්මක වර්ෂයක බලාපොරොත්තු වන ඉල්ලක්කයන් සපුරා ගැනීමට නොහැකි වීම සාමාන්‍ය තත්ත්වයක් වනවා. අය-වැය ලේඛනය සකස් කිරීමේ දී ප්‍රාථමික ගිණුම ධනව තබාගැනීම වැනි ඉලක්ක සමඟ ගමන් කිරීමේ දී අප දැඩි සීමාවකට ලක්වනවා.
ඒ වගේම අය-වැය හිඟය සමඟ කටයුතු කිරීමේ දී අදායමට වඩා වැඩි වියදමක් දැරීමට සිදු වූ විට එම හිඟය පියවා ගැනීමට ණය ගැනීමට සිදු වුණා. නමුත් ඉදිරි වර්ෂයේ දී අපට ණය ගැනීමේ ඉඩ බොහෝ දුරට සීමා වී තිබෙනවා. මීට පෙර දේශීය ණය ගැනීමේ දී බොහෝ පහසු ක්‍රමයන් අනුගමනය කළා. නමුත් අප විසින් සම්මත කරගත් නව මහ බැංකු පනත අනුව ණය ගැනීම සීමා වී තිබෙනවා. රජයට ණය ගැනීමට හැකියාව ඇත්තේ මහ බැංකුව විසින් හදිසියේ ප්‍රකාශයට පත්කළ අවස්ථාවක දී පමණයි.
මෙවර අය-වැය මැතිවරණ අය වැයක් බවට ඇතැම් අය චෝදනා කර තිබෙනවා. නමුත් දැඩි පීඩනයකට ලක්වූ සමාජයක, සියලු ප්‍රශ්නවලට උත්තර සෙවීමට සිදුව තිබෙනවා. එහි දී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සොයා බැලීම අනිවාර්යයක් වනවා.
එමෙන්ම ඉදිරියට පැමිණිය හැකි ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් අප විසින් රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. එය අය-වැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙනවා.
ඒ වගේම බදු ආදායම් නොමැතිව හෝ රාජ්‍ය ආදායම් නොමැතිව ඉදිරියට ගිය රටක් නැහැ. අප මේ වගකීම් භාර ගන්නා අවස්ථාව වන විට බදු අනුපාතිකය බෙදී ගොස් තිබුණේ වක්‍ර බදු 80%ක් සහ ඍජු බදු 20%ක් ලෙසයි. මේ වන විට අප වක්‍ර බදු අනුපාතය අඩු කර ඍජු බදු අනුපාතිකය 30% සීමාව ආසන්නයට ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.
ඒ වගේම අය-වැය හිඟය 05%ක පවත්වා ගත යුතු බවට 2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ තිබෙනවා. නමුත් එය ප්‍රායෝගික නැහැ.
පසුගිය වර්ෂ 20ටම සාපේක්ෂව අය-වැය හිඟය 05% ඉලක්කයක පවත්වාගෙන යාමට හැකිවූයේ 2016 සහ 2017 වර්ෂවල පමණයි. එලෙස පවත්වාගෙන යාමට නම් බරපතළ ලෙස වියදම් කප්පාදු කොට ආදායම් උපයාගත යුතු වනවා. බිලියන 65ක පැවැති ජනතා සුබසාධන වියදම මෙම වසරේ බිලියන 209 දක්වා ඉහළ යනවා. එමෙන්ම ප්‍රායෝගික නැති නීති ප්‍රායෝගිකත්වයට ගෙන ඒමට සහ ඇතැම් නීති සංශෝධනය කිරීමට ද අප කටයුතු කරනවා. අක්‍රිය වී තිබූ බදු ආදායම් සක්‍රිය කළ යුතු වනවා. ඒ වගේම 8.3%ක පැවැති රාජ්‍ය අදායමේ අනුපාතය මෙම වසර අවසානය වන විට 10.1%ක් දක්වා ඉහළ දැමීමට හැකියාව තිබෙනවා. 2024 අය-වැය ලේඛනය ක්‍රියාත්මක කිරීමෙන් පසු එම වසර අවසානය වන විට එය 12.3%ක් දක්වා වර්ධනය කරගත හැකියි. කුමන පාර්ශ්වයක් බලයට පැමිණිය ද රාජ්‍ය ආදායම් වර්ධනයකින් තොරව රටක් පවත්වාගෙන යා නොහැකියි. රාජ්‍ය අස්ථාවරත්වයත් සමඟ පැවැති ඉච්ඡාභංගත්වය ඉතා කෙටි කාලයකින් නැති කිරීමට අප කටයුතු කළා. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවය මත දූෂණ මර්දන පනත බලගැන්වීමට ද අප කටයුතු කරනවා. ඒ වගේම විදත් බදු තොරතුරු එක්රැස් කරගැනීමේ වැඩපිළිවෙළ සහ “රැමිස් 2.0” ව්‍යාපෘතිය මේ වර්ෂය අවසානය වන විට සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම ඉදිරි සති කිහිපය ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වනවා. ලබන දෙසැම්බර් 06 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස් වී අපට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ යෝජනාව සාකච්ඡා කර අවසන් කරගැනීමට ද නියමිතව තිබෙනවා.