ගිරිඋල්ල පොලිස් වසමට අයත් මල්ගමුව ප්‍රදේශයේ නිවෙසක හොර රහසේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්ථානයක් වටලා ගෝඩා මිලිලීටර් 45070ක් හා මත්පැන් නිෂ්පාදනයට යොදා ගත් උපකරණ සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් 20 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි.
ගනේගොඩ, මීරිගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයකු හා එක්ව ගිරිඋල්ල, මල්ගමුව පදිංචි 71 හැවිරිදි පුද්ගලයකු මල්ගමුව ඔහුට අයත් නිවසේ ඉතා සූක්ෂ්ම ලෙස මහා පරිමාණයෙන් එම මත්පැන් නිෂ්පාදනය කිරීම සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය පවසයි.
පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවෙස වටලා මත්පැන් නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා යකඩ බැරල් 21ක් සහ පෙරා අවසන් කළ මත්පැන් බෝතල් 1540ක් හා තඹ දඟරයක් සමඟ ගෑස් ලිපක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.