Saturday, May 10, 2025
Home » තෙල්බැද්දවත්තේ මත් උවදුර මඬින්න කාන්තාවෝ පෙරට එති

තෙල්බැද්දවත්තේ මත් උවදුර මඬින්න කාන්තාවෝ පෙරට එති

by gayan
November 23, 2023 1:00 am 0 comment

හාළිඇළ සමූහ - ආර්. එම්. විජේරත්න

දීර්ඝ කාලයක් තිස්සේ බදුල්ල තෙල්බැද්ද වත්ත ආශ්‍රිතව පවතින නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය උවදුර දිනෙන් දින වර්ධනය වෙමින් පැවතීමෙන් ඒ ආශ්‍රිත තවත් ගැටලු රැසක් උද්ගත වී ඇති අතර, එම උවදුර මැඬලීම උදෙසා එම ප්‍රදේශයේ කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හා ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සැකසීම තෙල්බැද්ද වත්ත අංක – 1 පෙරපාසල් ශාලාවේදී ඉකුත්දා සිදු කෙරිණි.

බදුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් තෙල්බැද්ද වත්ත ප්‍රදේශය තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා භාවිතය දිගු කලක් තිස්සේ පැවතුණු අතර, ඒ සමඟම මෑතක සිට විවිධාකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය ද දිනෙන් දින වර්ධනය වෙමින් පවතින බව පොලිසිය ඇතුළු අදාළ අංශ තුළින් අනාවරණය වී ඇත. එම තත්ත්වය මත පවුල් ආරවුල්, කාන්තා හිංසනය, ළමා අපචාර, සියදිවි නසාගැනීම්, ළමුන්ගේ අධ්‍යාපනය හා පවුල්වල ආර්ථිකය කඩාවැටීම සහ ඒ තුළින් පවුල්වල දරිද්‍රතාවය ද දිනෙන් දින ඉහළ යමින් පවතින බව ප්‍රදේශයේ පළාත් පාලන මන්ත්‍රීවරියන් ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබූ අතර, පොලිසිය ඇතුළු අදාළ සියලු අංශයන් ද මේ තත්ත්වය තහවුරු කොට තිබිණි.

එම ගැටලු අවම කරමින් වින්දිත පිරිස් අරක්ෂා කිරීමේ අරමුණින් සිදුකෙරුණු මෙම දැනුවත් කිරීම බදුල්ල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංගල ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් සහ කාන්තා සංවර්ධන කේන්ද්‍රයේ සභාපති චන්ද්‍රා වෙදගෙදර මහත්මිය විසින් සිදුකෙරුණු අතර, සර්ච් ෆෝ කොමන් ග්‍රවුන්ඩ් ආයතනයේ මෙහෙයවීමෙන් එම ආයතනයේ විල් සමිති (Will Club) සාමාජිකා ප්‍රේමලතා රත්නායක මහත්මිය විසින් එය සංවිධානය කර තිබිණි. දැනුවත් කිරීමෙන් පසු ප්‍රදේශයේ මත් උවදුර හා සම්බන්ධ ගැටලු අවම කරගැනීමේ කටයුතු උදෙසා එම වත්තේ සියලු කොටස් නියෝජනය වන ලෙස කාන්තා කමිටුවක් පිහිටුවා ගැනීම ද සිදු විය. ඊට අමතරව අදාළ පවුල්වල දරිද්‍රතාවය පිටුදැකීමේ අරමුණින් එම පවුල්වල කාන්තාවන් හා තරුණියන් ස්වයංරැකියා සඳහා යොමුකිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී සුරංග රත්නායක මහතා විසින් විවිධ ස්වයං රැකියා හා ගෘහ කර්මාන්ත පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරුණු අතර, ඉදිරියේදී එම පිරිස් උදෙසා ස්වයංරැකියා පුහුණු පැවැත්වීමට ද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT