Tuesday, May 13, 2025
Home » පරණ යකඩ බඩු මිලදී ගන්නා මුවාවෙන් ඇවිත් ගෙවල් සුද්දේ දාලා

පරණ යකඩ බඩු මිලදී ගන්නා මුවාවෙන් ඇවිත් ගෙවල් සුද්දේ දාලා

by gayan
November 23, 2023 1:00 am 0 comment

හල්තොට සමූහ - විනීතා මානෙල් ගමගේ

පරණ යකඩ බඩු මිලදී ගන්නා මුවාවෙන් පැමිණ නිවෙස්වල ඇති වටිනා බඩු සොරා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු එලෙස සොරා ගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනාකමක් ඇති දේපළ සමඟ 21දා පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

පරණ යකඩ බඩු මිලදී ගන්නා බව පවසා රතු පාට ත්‍රිරෝද රථයකින් තවත් පුද්ගලයෙකු සමඟ පැමිණි මෙම සැකකරු පිළියන්දල, ගොරකපිටිය ප්‍රදේශයේ නිවෙසක පරණ බඩු අතර තිබූ අඩි හයක් පමණ උස පිත්තල පහනක් සොරාගෙන ගොස් තිබු බවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ අනුව සිදු කළ සීසීටිවී පරීක්ෂාවේදී ත්‍රිරෝද රථය හඳුනාගෙන ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ත්‍රිරෝද රථයෙන් පැල්මඩුල්ල ප්‍රදේශයට පලා ගොස් එහිදී සොරකමක් සිදු කිරීමට යාමේදී පැල්මඩුල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

මොවුන් දෙදෙනා එක්ව මේ ආකාරයටම පිළියන්දල දාම්පේ ප්‍රදේශයේ නිවෙසකින් අඟල් 32 රූපවාහිනි යන්ත්‍රයක් ද, මඩපාත ප්‍රදේශයේ නිවෙසකින් ගෑස් සිලින්ඩර් දෙකක් ද සොරාගෙන තිබේ.

සොරා ගන්නා ලද දේපළ පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන කීපයකට විකුණා තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.

පාණදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 47 හැවිරිදි මෙම සැකකරු 22 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති දිනේෂ් හෙට්ටිආරච්චි, පොලිස් සැරයන් (56958) ප්‍රසන්න ඇතුළු නිලධාරීන් විසින් විමර්ශන සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT