ගල්කිස්ස අල්විස් පෙදෙස ආපන ශාලාවක නීති විරෝධි ලෙස අලෙවියට තබාගන සිටි රුපියල් ලක්ෂ හතලිස් පහකට අධික වටිනා විදේශීය මත්පැන් බෝතල් තොගයක් හා තීරුබදු නොගෙවා ආනයනය කරන ලද දුම් වැටි 2000 ක් සමඟ එහි කළමණාකරු (21) වැනි දින ගල්කිස්ස දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.
මෙම කළමණාකරු ගල්කිස්ස ප්‍රදේශයේම පදිංචිව සිටින වයස අවුරුදු 52ක අයෙකි. මෙම හෝටල් පරිශ්‍රයට පැමිණෙන පුද්ගලයන්ට හා පිටතින් ලැබෙන ඇමතුම් අනුව ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරමින් මෙම ජාවාරම සිදු කරගෙන යනු ලැබ ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මේ පිළිබඳව ගල්කිස්ස දුෂණ මර්දන ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතා වෙත ලද පුද්ගලික ඔත්තු කරුවකුගෙන් ලද තොරතුරකට අනුව රුපියල් 12000/= ක මුදල් ගෙවා පොලිස් උපාය දූතයකු යොමුකර විස්කි බෝතලයක් ලබා ගෙන මෙම වැටලීම සිදු කරනු ලැබ ඇත.
මෙම වැටලීම ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය පොලිස් අධිකාරි 1 සමන් ජයසේකර යන මහතූන්ගේ අධීක්ෂණය යටතේ මූලස්ථන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස දුෂණ මර්දන ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 60678 මධුශංක, පොලිස් කොස්තාපල්වරු වන 34274 චින්තක, 100430 ජයකොඩි, යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබිණි.
දෙහිවල – ඩී.පී. හේරත්