වසර තුනකට පසු මෙරට බොක්සිං වළල්ලට එක් වූ ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා බොක්සිං සමාජය සමත් වූ අතර, කාන්තා ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජයට හිමි විය.
ක්‍රීඩා සමාජ 22ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150කට ආසන්න සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් කොළඹ ‘රෝයල් මාස්‘ බොක්සිං වළල්ලේ පසුගියදා 93 වැනි වරට පැවැති මේ තරගාවලියේ දී යුද හමුදා කණ්ඩායම බර පන්ති 13කින් රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං සමාජය රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය.
කාන්තා තරග අංශයේ ජයග්රාහිකාවන්ට පිරිනැමෙන ඩයන් ගෝමස් අභියෝගතා කුසලානය දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ බර පන්ති 11කින් රන් පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 2ක් අත්කර ගත්හ. අනුශූරියන් වූ යුද හමුදා ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කම් 2කට හිමිකම් කීහ.
තරගාවලියේ හොඳම ක්‍රීඩකයා ලෙස යුද හමුදා පිලේ ලක්ෂාන් ජයවර්ධන සම්මාන දිනූ අතර, නාවික හමුදා පිලේ ඩබ්.එම්.ජී.කේ. ආරියරත්න හොඳම පරාජිත ක්‍රීඩකයාගේ සම්මානයට හිමිකම් කීවේය. හිටපු ජාතික බොක්සිං ශූරියක වන ගුවන් හමුදා පිලේ ඉෂාරා පෙරේරා තරගාවලියේ හොඳම ක්‍රීඩිකාව ලෙසත්, පොලිස් බොක්සිං සමාජයේ පබුදි විදානගමගේ හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.
ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්රදානෝත්සවය පැවැත්විණි.