ඉන්දියාව පරදවා ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණය පසුපස ඉන්දීය කාන්තාවකගේ දැවැන්ත සහයෝගයක් ලැබී ඇතැයි තොරතුරු අනාවරණය වේ.
ඉන්දියාව පිළිබඳ ඉතා හොඳින් දන්නා, හින්දි, ඉංග්‍රීසි ඇතුළු භාෂා ගණනාවක් චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති මේ ඉන්දියානු ජාතික කාන්තාවගෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ලබාගෙන ඇතැයි දැන් කරුණු අනාවරණය වේ. ඔස්ට්‍රේලියානුවන් ලෝක කුසලානය ජය ගැනීමට කෙතරම් දිගු කලක සිට සැලසුම් කර ඇත්ද යන්න මෙය හොඳම උදාහරණයකි.
ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මංගලෝරු නම්වූ ගම්මානයේ උර්මිලා රොසාරියෝ නමැති ඉන්දීය ජාතික කාන්තාව විශාල වැටුපක් ගෙවා ඔස්‍ට්‍රේලියානු කණ්ඩායමේ කළමනාකාරිය ලෙස බඳවාගෙන ඔවුන්ට අවශ්‍ය තොරතුරු මාස ගණනක් තිස්සේ රැස් කර ගෙන ඇත. මේ අනුව පෙනී යන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කළමනාකාරීත්වය ජයග්‍රහණය වෙනුවෙන් කල් තියා ඉතා සූක්ෂ්ම සැලසුම් දියත්කොට ඇති බවයි. උර්මිලා මුළු තරගාවලිය පුරා ඔස්ට්‍රේලියානු පිලේ කළමනාකාරිය ලෙස කටයුතු කරමින් දැවැන්ත සහයෝගයක් ලබා දුන් බව ජයග්‍රහණයෙන් පසු ඔස්ට්‍රේලියානු පිල අනාවරණය කළේය. ලෝක මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් කළමනාකරණය කිරීම දක්වා පැමිණි ගමන, ඇයගේ කැපවීම සහ නායකත්වය පිළිබඳ ආදර්ශයක් මෙන්ම ඔස්ට්‍රේලියානු පිල ජයග්‍රහණයට අවශ්‍ය සම්පත් රැස් කර ගැනීම විශේෂත්වය වේ.
ඇයගේ අවසරය නැතිව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරගාවලිය අතරතුරදී කිසිදු පෞද්ගලික ගමනක් යෑමට හැකියාව ලැබී නැතැයි පැවසේ. එමෙන්ම කළමනාකාරීත්වයේ අණසක යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ විනය උපරිම මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබී ඇත.
මංගලෝර් ගම්මානයේ කින්නිගෝලීහි වෙසෙන ඉවී සහ වැලන්ටයන් යන ඉන්දීය මවුපියන්ගේ 34 හැවිරිදි දියණිය වන උර්මිලා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය සම්පූර්ණ කළ අතර, ඇගේ මවුපියන් ඉන්දියාවේ සක්ලේෂ්පූර්හි කෝපි වත්තක් රැකබලා ගනිමින් ජීවත් වේ.
කුඩා කල සිටම විවිධ ක්‍රීඩාවලට සහභාගි වූ උර්මිලා කටාර් ටෙනිස් පදනමේ වසර තුනක් සේවය කළ අතර, පසුව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වසර තුනක් සේවයේ යෙදුණි. මේ අතර ඇයට ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කිරීමේ අවස්ථාව හිමි වූ අතර, පසුගිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේකයක් ගෙන මාස හතරක් කටාර් පාපන්දු ක්‍රීඩාංගණයක කළමනාකරණ කටයුතුවල නිරත වූවාය. ඉන් පසුව ඇය නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි පසු ඔස්ට්‍රේලියානු පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වගකීම පැවරී ඇත.
ලෝක කුසලාන පිරිමි කණ්ඩායම සමඟ සිටි උර්මිලා දැන් නැවතත් කාන්තා කණ්ඩායමේ කළමනාකාරිත්වය අරඹන බව සඳහන් කරන්නීය. ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට පැමිණේ. එවිට උර්මිලාට ආදරණීය මවුපියන් හමුවීමේ අවස්ථාව යළිත් උදාවන අතර, වෘත්තීය මට්ටමෙන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන්ට තොරතුරු ලබා දීමේ වගකීම ද පැවැරේ.