Home » පිතිකරුවන්ගේ ‘ටයිම් අවුට්’ නීතිය පන්දු යවන්නන්ටත්
ක්‍රිකට් පිටියට අයිසීසීයෙන් නව නීති රැසක්

පිතිකරුවන්ගේ ‘ටයිම් අවුට්’ නීතිය පන්දු යවන්නන්ටත්

ප්‍රමාද වන විනාඩියකට දඬුවම් ලකුණු 5ක්

by gayan
November 23, 2023 1:05 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

පිරිමි-කාන්තා විනිසුරු වැටුප සමාන කරයි

එක්දින ක්‍රිකට් තරගයකදී සහ විස්සයි20 තරගයකදී ඕවරයක් අවසන් වී ඊළඟ ඕවරය ආරම්භ කිරීමට තත්පර 60කට වඩා වැඩි කාලයක් ගත කළහොත් පන්දු යවන කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් නියම කොට ප්‍රතිවාදී පන්දුවට පහර දීමේ කණ්ඩායමට එම ලකුණු 5 එකතු කිරීමේ නව නීතියක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්මත කරයි.

අහමදාබාද්හි පෙරේදා පැවති අයිසීසී විධායක කමිටු රැස්වීමේදී පිරිමි එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී, පන්දු යවන්නා ඊළඟ ඕවරය යැවීමට තත්පර 60කට වඩා වැඩි කාලයක් ගත කළහොත්, පන්දු යවන කණ්ඩායමට ලකුණු 5ක දඩයක් පැනවීමේ නව නීතිය මුලදී අත්හදා බැලීමේ පදනමක් මත භාවිත කොට පසුව ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.

පිතිකරුවන් විනාඩි 2ක් ප්‍රමාද වී පන්දුවට පහර දීමේදී දැවී යෑම් ලෙස ‘ටයිම් අවුට්’ දඬුවම් ලබා දෙන ආකාරයටම පන්දු යවන්නන්ගේ ප්‍රමාද වීම් සම්බන්ධයෙන් ද අයිසීසීය පියවර ගැනීම විශේෂත්වයකි. මේ ප්‍රමාද වීමට එකවරම දඬුවම් පැනවීමක් සිදු නොවන අතර, ප්‍රමාද කරන පළමු ඕවර දෙකේදී තරග විනිසුරු කණ්ඩායම් නායකයාට අවවාද දෙකක් නිකුත් කරනු ඇත. තවදුරටත් තෙවැනි වතාවේ ප්‍රමාද වුවහොත් එතැන් සිට දඬුවම් ලකුණු නීතිය ක්‍රියාත්මක වේ.

මේ අතර, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය පිළිබඳ රෙගුලාසියක් අයිසීසී විධායක මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ අනුව තම ලිංගභේදය වෙනස් කරන පිරිමියකුට ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී කාන්තාවක් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථා අහිමි වේ. ශල්‍යකර්මයක් හෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම භාවිත කර පිරිමි පුද්ගලයන් ගැහැනු බවට පරිවර්තනය වී ක්‍රීඩිකාවන් ලෙස කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන බවට හඳුනාගෙන ඇති බැවින් මේ නව නීතිය සම්පාදනය කොට තිබේ.

එලෙස පළමු ජාත්‍යන්තර සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ඩැනියෙල් මැක් හඳුනාගෙන තිබූ අතර, දැනට කැනඩා ජාතික කාන්තා පිලට ක්‍රීඩා කරමින් සිටී. 29 හැවිරිදි ඩැනියෙල් කැනඩාව වෙනුවෙන් පිතිකරණයේ යෙදී විස්සයි20 තරග 6කදී ලකුණු 118ක් ලබාගෙන 95.93ක ප්‍රහාරක වේගයක් රඳවාගෙන සිටී. නමුත් නව නීති හේතුවෙන් තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා කණ්ඩායමක් නියෝජනය කිරීමේ හැකියාව ඩැනියෙල් මැක්ගේට නැත.

කාන්තා ක්‍රිකට් තරගවලට සම්බන්ධ වන විනිසුරුවරියන් ඇතුළු නිලධාරිනියන් සඳහා එම තනතුරු දරන පිරිමි පාර්ශ්වයට හිමි වන සමාන වැටුප් ප්‍රකාශයට පත් කිරීම මේ විධායක සභාවේදී සිදු කෙරුණු අතර, එමඟින් අයිසීසීය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාවය සඳහා සිය කැපවීම තහවුරු කළේය. ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන මේ වැඩසටහන ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර, සෑම අයිසීසී කාන්තා තරගමාලාවකදී අවම වශයෙන් එක් මධ්‍යස්ථ විනිසුරුවරයකු ඇතුළත් කිරීමට ද නිර්දේශ කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT