Home » මේ වසරේ ඒඩ්ස් රෝගීන් 485ක්

මේ වසරේ ඒඩ්ස් රෝගීන් 485ක්

ඒ අතර පාසල් දරුවනුත්

by mahesh
November 24, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

එච්.අයි.වී. ඒඩ්ස් රෝගීන් 485 දෙනකු මේ වසරේ ඔක්තෝබර් 31 දක්වා ගෙවුණු කාලය තුළ අලුතින් වාර්තා වී ඇතැයි ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ ජානකි විදානපතිරණ මහත්මිය පැවසුවාය.

මෙම හඳුනාගත් පිරිස අතර පාසල් දරුවන් ද වන අතර වයස අවුරුදු 15ත් – 24ත් වයසේ පසුවන අය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇතැයිද කීවාය.

2021දී රෝගීන් 411දෙනකු හඳුනාගත් අතර 2022 වන විට එම සංඛ්‍යාව 607ක් දක්වා වැඩි වී තිබේ. එය සියයට 48ක වැඩිවීමකි. එමෙන්ම 2022දී ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 4100ක් වුවද එතරම් සංඛ්‍යාවක් හඳුනා ගැනීමට නොහැකි වූ බව ද ඇය කීවාය.

එච්.අයි.වී. ආසාදිතයන් වෙනුවෙන් මෙතෙක් කලක් භාවිත කළ ඖෂධ වර්ග කිහිපය වෙනුවට මේ වන විට එක් ඖෂධයක් නිපදවා ඇති බැවින් රෝගීන්ට පහසුවෙන් එය භාවිත කළ හැකි බවත් වෛද්‍ය නිර්දේශය මත දිනපතා එය ලබාගත යුතු බවත් පැවසූ ඇය, එමඟින් 2030 වන විට ආසාදිතයන් 0.001ක් දක්වා අවම කරගත හැකි බවත් කීවාය.

එමෙන්ම ඒඩ්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදු කරන සියලු පරීක්ෂණ සහ ඖෂධ ප්‍රතිකාර රජය නොමිලේ සිදු කරන බැවින් අවදානම් ලිංගික හැසිරීම්වල යෙදෙන පිරිස් වහාම රුධිර පරීක්ෂාවක් සඳහා යොමු වන ලෙස ඔවුන්ගේ රහස්‍යභාවය රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මඟින් ආරක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT