Home » කුරුළුගම චීවරධාරියාට ඇප නෑ: සෙසු සැකකාර හතරදෙනාට ඇප

කුරුළුගම චීවරධාරියාට ඇප නෑ: සෙසු සැකකාර හතරදෙනාට ඇප

by mahesh
November 24, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද

මියගිය පුද්ගලයකුගේ සත්දින දානමය පිංකමට පෙරදින රාත්‍රියේ ධර්ම දේශනාවකට වප්පුර පසොළොස්වක පොහොයදා වැඩම කළ ආරණ්‍ය සේනාසනාධිපති හිමිනමකට අමානුෂික ලෙස පහරදී තුවාළ සිදු කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා පමුණුවා පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කර පොලිස් යතුරු පැදියක් පැහැර ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින චීවරධාරියා ඇතුළු සැකකරුවන් හත්දෙනා අතරින් සැකකරුවන් හයදෙනකු පමණක් ඇප මත මුදා හරින ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.

ඒ අනුව සියලු සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් දසදහස බැගින් මුදල් ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඊට අමතරව සියලු සැකකරුවන්ට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙක බැගින් නියම කෙරිණ. සතියේ සෑම ඉරිදා දිනයකම කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට වාර්තා කරන ලෙසට ද සැකකරුවන්ට තවදුටරත් නියෝග කරනු ලැබීය.

මෙම සිද්ධියේ පළමු සැකකාර රංජුරාවේ සුගතවංශ හිමි නමින් කුරුළුගම විහාරාධිපතිව සිටි චීවරධාරියා පමණක් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔහු තවදුරටත් මේ මස 30 වන දින දක්වා රිමාන්ඩ් කිරීමට ද නියෝග කළේය. ඇප මත මුදාහල සැකකරුවන් වන්නේ කේ. සුභසිංහ (55), කේ. රංබණ්ඩා (66), ඇඩ්වින් මනෝගේ රත්නායක (50), කේ. එන්. සුරේන්ද්‍රාවතී (40) සහ බී. ගූණමාලි ඉන්ද්‍රාවති (38) යන අයය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය මීට පෙර කියා සිටියේ පළමු සැකකාර කුරුළුගම විහාරාධිපති රංජුරාවේ සුගතවංශ හිමිනම දිවයිනේ නම ගිය අපරාධකරුවකු ලෙස ලේඛන ගතව ඇති බවයි. පළමු සැකකාර හිමිනමට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධමය පෙර වැරදි 4ක් පවතින බවද පොලිසිය කීවේය.

පළමු සැකකාර රංජුරාවේ සුගතවංශ හිමි නමින් සිටි චීවරධාරියා සිය පැවිදි ජීවිතයේදී නම් හතරකින් පෙනී සිටි ඇති බවද අධිකරණයට සැල කළ පොලිසිය, ධර්ම දේශනයට වැඩම කළ වාහල්කඩ ඩී 8 ඉසිගිරිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති පදවියේ විජිත බුද්ධි හිමියන්ට පහරදීමේ සිද්ධියට මුල්වී ගම්මුන් මෙහෙයවමින් ඒ හිමියන්ට පළමුව පහරදී ඇත්තේ පළමු සැකකාර චීවරධාරිය විසින් බවද කියා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත ධර්මසිරි මහත්වරුන් සමඟ කැබිතිගොල්ලෑව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ විශේෂ නියෝගයක් මත අධිකරණයට කරුණු දැක්වීම සඳහාම විශේෂයෙන් පත් කළ වාහල්කඩ පොලිසියේ සැරයන් (21504) ධම්මික සහ කොස්තාපල් (49544) සෝමරත්න යන මහත්වරුන් පෙනී සිටි අතර, සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන අජිත් දිසානායක සහ රංග සුජීව යන මහත්වරු පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT