හයිවේ එන්ටර්ස් හි ටිකට් කඩන මල්ලිලා ද ජාතියේ තීරක බලවේගයක් බවට පත්වීමේ අරමුණෙන් දවස් දෙක තුනකට කලින් ස්ට්‍රයික් පාරක් ඇල්ලුවේය. වර්ජනය කියන්නේම අමු බොරුවකි. එක්වරම සියලු දෙනාම ලෙඩ වුණා යැයි, ලෙඩ නිවාඩු දමන්නේය. එහෙම සෙට් පිටින් කොවිඩ් වැනි වසංගතය කාලයකදී වුවද ලෙඩ වූවේ නැත. ලෙඩ නිවාඩු ලබා දී ඇත්තේ ‘ජාතික කම්කරු මධ්‍යස්ථානයේ’ වර්ජන ක්‍රියාදාමය සඳහා අවස්ථාවක් ලෙස නොව, සේවකයෙක් වෙත අසනීපයක් වූ විට නිවසට වී හෝ රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමටය. එහෙම ලබා දුන් ලෙඩ නිවාඩුව වනාහි ‘නිවාඩු අතර ඇති ලෙඩේය’.
වාර්ෂික නිවාඩු බැලන්ස් එක සඳහා ලෙඩ නිවාඩු ‘අඩයට’ තැබිය හැකිය. මේ සඳහාම ‘මෙඩිකල්’ ලියනා වෙද්දු වෙත්. නිවාඩු ගාණට අවශ්‍ය පරිදි ලෙඩේ සටහන් කර, ඔෆිස් එක සඳහා එහෙම කොළ දෙන එකා සහ කොළය ගන්නා එකා, පාරට බැස්ස සැණින්, දේශපාලනඥයෝ බොරු කරනා බව පවසමින්, සියලු දෙනා වෙත හෙණ ඉල්ලමින් යන්නාහ. බොරුකාරයෝ එක්ක මේ රට කරන්න බැරි බවට සමහර එකාලා, වේදිකා මත්තේ ද බෙරිහන් තළන්නාහ.
එහෙම ලෙඩ නිවාඩු දැමූ හයිවේ එකේ ටිකට් කඩන මල්ලිලාගේ තරම ස්ට්‍රයික් එකෙන් රටම දැන ගත්තේය.
ගේට්ටුවේ ඉඳන් ට්කට් කැඩීම අධිවේගය, මන්දවේගයක් බවට පත්වීමට බලපාන එක් කරුණකි. සමහරෙක් අධිවේගයේ යන්නේ අවට සිරි ද බල බලාය. තමන් කෙළවරේ තීරුවේ සිට අවට පිටාව, විස්තර කරමින් හයිවේ එකේ සිටම ට්‍රිප් එක ආරම්භ කළ සඳ, අනෙක් එකාලා පස්සේ සිට ඒ වැඩේ නොකරන හෙයින් වම් පැත්ත බලා මාරු විය යුත්තේය. ඔහොම කිහිපදෙනෙක්, ගමනේ සෙට් වුණා කියන්නේ ඉක්මනින් ගමනක් යන්න ආ අයෙකුට, යෑමට සිදු වන්නේ වමෙන්මය. මංතීරු දෙකක් පමණක් ඇති හෙයින් වම දකුණ දෙකම පිරී යන්නේය. එහෙම බලන කොට ගාලු යන කෙනාට, ගෝල් රෝඩ් එකේ ‘සැපම’ හයිවේ එකේ ද ලැබෙන්නේය.
ඊළඟට ගේට්ටුව ළඟට එන්නේය. එළියට යෑම සඳහා තැන් දෙකක් තුනක් ඇත්තේ මුත්, ඈතට පෙනී යන්නේ ‘උඩින්ම කතිර ලකුණු දෙකක් දමා’ එක දොරක් පමණක් විවෘතව ඇති බවය. සමහරු ටිකට් එක හොයන්නේ ගෙවන තැනට ඇවිත්, හෑන්ඩ් බ්රේක් එහෙම අල්ලාය. ඊට පසු පසුම්බිය හැර තෙවරක් පමණ ගාන අසන්නේය. ඉතිරි මුදල් රැගෙන, පසුම්බියට ද දාගෙන, ටිකට් මල්ලිට ද ‘බායි පාරක්’ දාගෙන ඒ යකා යන්නේ තව විනාඩි ගාණක් පස්සේ සිටින එවුන් පෝලිමේ තබාය.
එක්සිට් එක ළඟ මේ ට්‍රැෆික් එක සඳහා හොඳම විසඳුම ‘නම්බර් ප්ලේට් රීඩින්’ එකය. ඇතුල් වන වනම වාහනයේ අංකය, කැමරාවෙන් ස්කෑන් කර, පිටවෙන තැනදී කල් තියා කැමරාව ගාස්තුව තීරණය කරන හෙයින් විනාඩි ගණනාවක් ඉතිරි වන්නේය. එහෙම වූ සැණින් ඇතුල් වෙන දොරට ටිකට් කඩන මල්ලිලා අවශ්‍ය නැත. දිගටම ඔවුනට ලෙඩ නිවාඩු දැමිය හැකිය. පිටවෙන තැනදී ද ඔටෝ චාර්ජස් ගෙවී යන කෑල්ලක් වාහනයට සවි කර ඇත්නම්, කැමරාව අනුව මැෂිම ක්‍රියාත්මක වී, වාහනයේ ඇති යන්ත්‍රයෙන් ‘ගාන අඩු කරන්නේය’. එතකොට පිටවෙන තැන සිටින මල්ලිලාට ද ලෙඩ නිවාඩු දිගටම දැමිය හැකිය. මැෂිමකට ඔය වැඩේ භාර දුන්නා කියන්නේ අවශ්‍ය වන්නේ විදුලිය සහ නඩත්තුව පමණය.
පමත්ත සහ පමාද යැයි වචන දෙකක් ධර්ම පෙළේ පවතී. මේ වචන ද්විත්වය, සමාන අර්ථයෙන් ව්‍යාවහාරයේ යෙදෙනු දැකිය හැකිය. මත්ත යන්න සඳහා පෙරට ‘ප’ උපසර්ගය යෙදීමෙන් වචනයේ උකු බව තව වැඩි වන්නේය. ඒ කියන්නේ අර්ථය තීව්ර වන්නේය. ‘මත්තගජින්ද විලාසිත ගාමී’ යැයි නරසීහ ගාථා හි විස්තර කරනුයේ ‘මත් ඇතෙකුගෙ ගමනට සරි ගමනක්ය.’ පමත්ත වනාහි අධික මතය ලෙස ඒ අනුව ගත හැක්කේය.
පමත්ත හේතුවෙන් පමාදයට පත් වේ. මත් වූ එකාගේ ‘කුයික්’ බව පලා යන්නේය. එකා පාද තබන්නේ ද කකුල ඔසවා තැන් තැන්වලට තැබීමට ගොස් ටාගට් කළ තැනට වෙනස් තැනකය. ගමන වක්රාකාරය. එහෙයින් පමාදය ඇති වන්නේය. පමාද යනු පමාවය. ටිකට් කඩන මල්ලිලා මේ දෙකම සරුවට කරන්නෝය.
දැන් උන් හට තමන් පිළිබඳව වූ අධිතක්සේරුව නම් මතය ඉහට ගසාගෙන තිබේ. හයිවේ එක ‘රන් වන්නේ’ තමන් නිසා යැයි සිතා එකාලා ස්ට්‍රයික් එකකට බැස්සේ තමන් නැතිව, සමස්ත අධිවේගී මාර්ග පද්ධතියම ‘ක්‍රියා විරහිත වේ’ යන අදහසිනි. පමත්තය ‘මල්ලිලාට’ ඇතිව තිබේ.
ආණ්ඩුව ඕවා දැන් ගණන් ගන්නේ නැත. මේ කාලයේ හැටියට ස්ට්‍රයික් එකක් ඔට්ටු අල්ලනවාට වඩා, හයිවේ එකේ ෆ්‍රී යන්න දීම ආණ්ඩුවට සැපතකි. වහාම ඔය වැඩේ සඳහා හමුදාව යොදවන්නට රජය පියවර ගත්තේය. ස්ට්‍රයික් කළ දවසට වඩා කෝටි දෙකක් හමුදාව ඒ දිනයේ ලබාදීමත් සමඟ ‘මල්ලිලාට’ තවත් තට්ටු විය. එක්කෝ අපේ එවුන් ද ස්ට්‍රයික් එක නිසා හයිවේ එකේ නිකම්ම යෑමට සිතා ‘ඇතුළට’ දැමුවා විය හැකිය. බැලින් නම් ටිකට් කඩන්නේය. ඒ අනුව යන පිරිස වැඩි වී මෙහෙම වූවා විය හැකිය. එහෙම නැත්නම් මෙතැන මාටියා ගේමක් රන් වෙනවා ද විය හැකිය. ඒවා අනුමාන පමණය.
කොහොමටත් දැන් ඉක්මනට කළ යුත්තේ, පමත්ත සහ පමාද රහිත හයිවේ සර්විස් එකක් සඳහා පාර විවෘත කර ගැනීමය. තමන් කවුරුන් දැයි සනාථ කර මල්ලිලා ආරම්භයක් ලබා දී තිබේ. ආණ්ඩුවට ඇත්තේ අවසානයක් ලකුණු කර දීම පමණය.