Saturday, May 10, 2025
Home » මහවිරු සැමරුම්වලට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පියවර ගන්නවා

මහවිරු සැමරුම්වලට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පියවර ගන්නවා

පොලිස්පති - ත්‍රස්ත විමර්ශන අධ්‍යක්ෂ අධිකරණයට ප්‍රතිඥා දෙති

by gayan
November 25, 2023 1:00 am 0 comment

ඉදිරි දිනවලදී උතුරු නැඟෙනහිර පළාත්වල අනීතිකව පැවැත්වීමට නියමිත මහවිරු සැමරුම් උත්සව සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය නීතිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවට පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ඊයේ (24) අභියානාධිකරණයට ප්‍රතිඥාවක් දුන්හ.

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් එල්ටීටීඊ නායක වේළුපිල්ල ප්‍රභාකරන්ගේ දියණියගේ කටහඬට සමාන කටහඬක් යොදාගනිමින් අවි ආයුධ අතට ගන්නා ලෙස දෙමළ ජනතාවට බල කරන වීඩියෝවක් ප්‍රසිද්ධ කිරීම ඇතුළුව නීති විරෝධි ලෙස උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ ඒ ඔවුහු ප්‍රතිඥාව දුන්හ.

පෙත්සමෙහි වගඋත්තරකාර පොලිස්පතිවරයා‍, ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා මේ ප්‍රතිඥාව දුන්නේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා සහ එස්.යූ.බී. කරලියද්ද මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම කැඳවන ලදි.

විශ්‍රාමික හමුදා බුද්ධි අංශ නිලධාරියකු වන ආනන්ද ජයමාන්න මහතා විසින් මේ පෙත්සම ගොනු කර තිබුණු අතර, යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ, පොලිස්පති, ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටියහ.

මේ පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා සඳහන් කළේ අනීතික ලෙස කටයුතු කරමින් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල මහවිරු සැමරුම් උත්සව 50ක් පමණ ලබන සඳුදා (27) සිට උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. මියගිය එල්ටීටීඊ සාමාජිකයන් සමරන මේ උත්සවය හේතුවෙන් රට තුළ ජාතීන් අතර අනවශ්‍ය ලෙස අසමඟියක් සහ විනාශකාරි තත්ත්වයක් ඇති විය හැකි බවට ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය.

කෘත්‍රිම බුද්ධිය භාවිත කරමින් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණියගේ කටහඬට සමාන කටහඬක් යොදාගෙන දෙමළ ජනතාව අවි ආයුධ අතට ගත යුතු බවට සඳහන් වීඩියෝවක් නිර්මාණය කර ඇති බවද, අදාළ වීඩියෝව මහවිරු සැමරුම් උත්සවවලදී ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද බුද්ධි අංශ මඟින් තොරතුරු තහවුරු කරගෙන ඇති බවට ඔහු කරුණු ඉදිරිපත් කළේය. එසේම වෙනත් රටවල පවත්වන මහවිරු සැමරුම් උත්සවවලදී එල්ටීටීඊ ධජය භාවිත කරන අතර, මෙරටදී එහි සියලු වර්ණවත් වර්ණ ඇතුළත් ධජ භාවිත කරන බවද ඒ මහතා සඳහන් කළේය.එසේම මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති මහවිරු සැමරුම් උත්සවවලදී එල්ටීටීඊ ධජය භාවිත කිරීමට කටයුතු කරන බවටද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

දෙමළ ජාතීන්ගේ අයිතීන් උදෙසා මියගිය බුද්ධිමතුන් වෙනත් කිසිදු වැසියකු සැමරීමක් නොකරන නමුත් එල්ටීටීඊ සාමාජිකයන් පමණක් සමරමින් මේ මහවිරු සැමරුම් උත්සව සංවිධානය කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය. මෙලෙස අනීතික ලෙස මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමෙන් උතුරු නැඟෙනහිර ප්‍රදේශවල විශාල කලබලකාරි තත්ත්වයක් ඇති විය හැකි බවටද ජනාධිපති නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය.

එහිදී පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශමින්ද්‍ර වික්‍රම මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමාටද තොරතුරු ලැබී ඇති බවයි. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය 106 වගන්තිය යටතේ සහ පවතින සාමාන්‍ය නීතිය යටතේ එවැනි අනීතික මහවිරු සැමරුම් උත්සවය සම්බන්ධයෙන්ම කටයුතු කරන බව ඒ මහතා සඳහන් කළේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා, ජ්‍යෙෂ්ඨ නීතිඥවරයාගේ ඒ ප්‍රතිඥාව සම්බන්ධයෙන් තමා සෑහෙන පත් වන බවත්, ඒ සම්බන්ධව ස්තුතිය පළ කරන බවත් සඳහන් කළේය. පෙත්සමෙහි සෙසු වගඋත්තරකරුවන් වන යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වෙනුවෙන් කිසිදු නිතිඥයකු පෙනී නොසිටි අතර, තමන්ට ඔවුන්ගෙන් උපදෙස් ලැබී නැති බවද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේය. ඒ අනුව ඔවුන් වෙත නැවත නොතීසි යවන ලෙස විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයට දන්වා සිටියේය.

කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම නොවැම්බර් මස දෙසැම්බර් 1 දා සිදු කිරීමට තීරණය කළේය.

නෙල්කා මැදගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT