විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු සභා වාරවලට සහභාගි වීම තහනම් කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඊයේ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) සිදුකළ ප්‍රකාශයකින් පසුව නැඟී සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් දැක්වීමට උත්සාහ කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ඊයේ (24) උණුසුම් වාතාවරණයක් නිර්මාණය වූ අතර මේ සමඟ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයම ආවේගශීලි ලෙස අදහස් දැක්වීම් සිදුකළහ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දෝෂාරෝපණය කරමින් අදහස් දක්වන්නට වූ අතර, ඊට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුද අදහස් දැක්වූහ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී සභාවට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ප්රශ්නය සහ රට තුළ ඇති වූ විරෝධතාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කෙළේය.
ජනාධිපතිවරයාගේ කතාවෙන් අනතුරුව ජනාධිපතිවරයා සභාවෙන් පිටව ගිය අතර ඒ සමඟ නැඟී සිටි විපක්ෂ නායකවරයා සිය අදහස් දක්වන්නට වූ අතර, සභාවෙන් පිටව නොගොස් සිය අදහස්වලට ඇහුම්කන් දීම සඳහා සභාවේ රැඳී සිටින ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
ජනාධිපතිතුමා අපේ මතය අහන්නේ නැතිව දුවන බවත් ජනාධිපතිතුමාම කිව්වා දුවන්න එපා දුවන්න එපා ටිකක් නවතින්න, කොහෙද දුවන්නේ, බයද යනුවෙන් විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කෙළේය.
ඉන් අනතුරුව විපක්ෂ නායකවරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සිය අප්‍රසාදය දිගින් දිගටම පළ කළ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුද මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයට විරෝධය දක්වන්නට විය.
මෙම අවස්ථාවේදී නැඟී සිටි ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය ආණ්ඩු පක්ෂයට නිග්‍රහයක් වන අතර මෙය අපගේ වරප්‍රසාදය කඩ කිරීමක් බව සඳහන් කෙළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුට සති දෙකක කාලයක් සභාවේ කටයුතුවලට සහභාගි වීම තහනම් කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා විසින් මෙහිදී යෝජනා කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සඳහන් කළේ නිසි ලෙස හැසිරෙන ලෙසයි.