Saturday, May 10, 2025
Home » වතුර ටැංකියට වස දැමූ සාත්තු සේවකයා බරපතළ වැඩ ඇතිව විසි වසක් දඟගෙට
සෙවණගල වෛද්‍ය අධිකාරී හා පවුල ඝාතන තැත:

වතුර ටැංකියට වස දැමූ සාත්තු සේවකයා බරපතළ වැඩ ඇතිව විසි වසක් දඟගෙට

චෝදනා හතරට 20,000ක දඩයක්

by gayan
November 25, 2023 1:00 am 0 comment

වසර 11ට පෙර සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසු කර වෛද්‍යවරයා, බිරිය හා දරුවන් දෙදෙනා ඝාතනය කිරීමට තැත්කළ එම රෝහලේම සාත්තු සේවකයෙකුට රුපියල් 20,000ක දඩයක් හා වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඉකුත් 21 වැනිදා සවස නියම කෙරුණි.

මෙලෙස සිරදඬුවම් නියම කෙරුණේ එවකට සෙවනගල රෝහලේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කළ සෙවනගල පදිංචි 53 හැවිරිදි නම්මුනි ආරච්චිගේ නිමල් රංජිත් නමැති අයෙකුටය.

2012.02.03 වන දින එවකට සෙවනගල ග්‍රාමීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වශයෙන් සේවය කළ ජී.වී. චාමින්ද විතානගේ මහතාගේ නිල නිවසේ පිහිටි ජල ටැංකියට කිසියම් අයෙකු වස මුසු කර තමන් ඇතුළු පවුලේ උදවිය ඝාතනය කිරීමට තැත් කර ඇති බවට අදාළ වෛද්‍යවරයා විසින් සෙවනගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ සෙවනගල පොලිසිය සිද්ධියට සැකපිට සෙවනගල රෝහලේ සේවය කළ නිමල් රංජිත් නමැති සාත්තු සේවකයා හා එම රෝහලේම වෙනත් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පැවති මූලික නඩු විභාගයේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වෛද්‍යවරයාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහු නිදොස් කෙරුණු අතර සාත්තු සේවකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා 04ක් යටතේ ඇඹිලිපිටිය මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

නඩු විභාගයේදී රජයේ රස පරීක්ෂක කේ.ඒ.පී.බී.පෙරේරා මහතා සාක්ෂියට කැඳවා තිබූ අතර එහිදී ඔහු සාක්ෂි දෙමින් අධිකරණය හමුවේ පවසා තිබුණේ එච්.සී.පී.ඒ. (2 මීතයිල් 4 ක්ලෝරෝෆිනොක්සි ඇසිඩ්) නමැති වල් නාශකය අදාළ ජල ටැංකියේ පිහිටි ජලයට මුසුව තිබූ බවයි. එමෙන්ම වැඩි දුරටත් කොළඹ වෛද්‍ය පීඨයේ විෂවේදී අධිකරණ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන්ද අධිකරණය වර්තාවක් ලබා ගෙන තිබූ අතර, ඒ තුළින්ද අදාළ වල් නාශකය පිළිබඳ හා එහි ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකාර සාත්තු සේවකයාට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් විය. ඒ අනුව ඉදිරිපත් වු සියලු සාක්ෂි සලකා බැලූ ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා චුදිතට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණු අතර, එය වසර 10කින් සමගාමීව ගෙවී යායුතු බවට ද බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරුණි. මීට අමතරව අදාළ චෝදනා සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් සෙවනගල පොලිසියේ පොලිස් සැරයන් (41742) ඇතුගල සමඟ රජයේ අධිනීතිඥ කලන කොතලාවල මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT