සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩාය සමඟ පැවති පළමු විස්සයි20 තරගය අවසන් පන්දුවෙන් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.
විසාඛාපට්නම්හිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 208ක් රැස් කළ අතර, ඉන්දියාව ඕවර 19.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 8ක් දැවී තිබියදීය.
මේ තරගයෙන් කඩුලු 2ක ජයක් කරා ඉන්දීය පිල ගෙන ගිය රින්කු සිං අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තරගය නිමා කළ ද එය ලකුණු අතරට එක් නොවිණි. එම පන්දුවෙන් ඉන්දියාවට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් පමණක් අවශ්‍යව තිබූ අතර, එය නිපන්දුවක් බවට විනිසුරුවරයා විසින් සංඥා කළේය. එම නිසා හයේ පහරේ වලංගු භාවය අහෝසි වූයේ ඉන් පෙර නිපන්දුවෙන් ලකුණක් ලැබීමත් සමඟ ඉන්දියාවට ජයග්‍රහණ හිමි වීම හේතුවෙනි. ෂෙන් ඇබොට් යොමු කළ එම ඕවරයේදී ඉන්දියාවට ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් අවශ්‍යව තිබූ අතර, පළමු පන්දුවට 4 පහරක් එල්ල කළ රින්කු දෙවැනි පන්දුවට අතිරේක ලකුණක් කරා පැති මාරු කර ගත්තේය. තෙවැනි පන්දුවෙන් අක්සාර් පටෙල් දැවී ගිය අතර, ඊළඟ පන්දුවෙන් රවී බිෂ්නෝයි දුවද්දි දැවී ගියේය. පස්වැනි පන්දුවට ලකුණු දෙකක් කරා දිවයෑමේදී ඉන්දීය පිලට දෙවැනි ලකුණ අහිමි වූයේ අර්ෂදීප් සිං දුවද්දි දැවීයෑමට හසුවීමෙනි.
රින්කු පන්දු 14කදී නොදැවී ලකුණු 22ක් වාර්තා කළ අතර, පන්දු 42කින් ලකුණු 80ක් රැස් කළ නායක සූර්යකුමාර් යාදව් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි. ඉෂාන් කිෂාන් පන්දු 39කින් ලකුණු 58ක් ඉනිමට එක් කළේය.
පළමු පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ජොෂ් ඉන්ග්ලිස් මංගල විස්සයි20 ශතකය ලෙස ලකුණු 110ක් රැස් කළේ පන්දු 50කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 8ක් සමඟිනි. ස්ටිව් ස්මිත් සමඟ පළමු කඩුල්ලට ලකුණු 130ක සබඳතාවක් ගොඩනැඟීමට ජොෂ් සමත් වූ අතර, ආරම්භක පිතිකරු ස්මිත් පන්දු 41කින් ලකුණු 52ක් රැස් කර සිටියදී දැවීයෑමෙන් එම සබඳතාව නිමා විය.
දෙපිල අතර තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ දෙවැනි තරගය හෙට (26) තිරුවානන්තපුරම්හිදී පැවැත්වේ.