අමෙරිකාවේ සිට ගුවන් භාණ්ඩ ලෙස රුපියල් කෝටි 05කට අධික වටිනාකමක් ඇති මෙරටට කුෂ් සහ කොකේන් තොගයක් රැගෙන ඒමේ ඡාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
දෙමටගොඩ, ඥාණ විමල පාරේ පදිංචි පුද්ගලික ආයතනයක සේවකයෙක් වන 47 හැවිරිදි අයෙක්, අම්බලන්ගොඩ පෝරඹේ පදිංචිකරුවෙක් වන පුද්ගලික ආයතනයක සේවකයෙක් වන 36 හැවිරිදි වියේ පසුවන්නෙක්, මාලිගාවත්ත ඛෙත්තාරාම පාරේ පදිංචිකරුවෙක් වන 27 හැවිරිදි තරුණයෙක්, දෙමටගොඩ ඥානවිමල පාරේ පදිංචි 48 හැවිරිදි ලිපිකරුවෙක් සහ වැල්ලම්පිටිය වෙලේවත්තේ පදිංචි පුද්ගලික ආයතනයක සේවයේ නිරත 41 හැවිරිදි වියේ පසුවන්නෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙරේදා (25) නිවේදනය කළේය.
බ්ලූමැන්ඩල් හි පිහිටි පුද්ගලික සමාගමකට අයත් භාණ්ඩ ගබඩාවකට ලැබී තිබුණු පාර්සලයක් රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය හමුවී තිබුණේ පසුගිය 22 දාය. කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 05යි,ග්‍රෑම් 161ක්, කොකේන් ග්‍රෑම් 511ක් ඒ අතර තිබී ඇත.
එහිදී එම පාර්සලය මුදා ගැනීමට පැමිණි පුද්ගලයෙකුව රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම පාර්සලය මෙරටට එවා තිබුණේ ගම්පහ පදිංචි කාන්තාවකගේ නමිනි.