Tuesday, May 13, 2025
Home » වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් ගැන තීරණයක්

වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් ගැන තීරණයක්

by yasara
November 27, 2023 2:34 pm 0 comment

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (27) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවකදීය. මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට  ආසන්න තත්වයේ තිබෙන බවත් මෙහිදී අනාවරණය විය.

මේ පිළිබදව විශේෂ අවධානය යොමු කල සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද , එම කමිටුවේ සාමාජිකයන් බවට පත් කරමින් විශේෂ කමිටුවක් පත් කර මෙම රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම කඩිනමින් සිදු කර රෝගී ප්‍රතිකාර සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය  පියවර ගන්නා ලෙසය.

වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී ‍යාමට ආසන්න තත්වයේ ඇති රෝහල් උතුරු පලාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්ක වල බව අනාවරණය කර ගෙන ඇත.

වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවද මෙහිදී අනාවරණය විය.

දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලු වලට විසදුම් සෙවීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සම්බන්ධ වෘත්තීය සමිති සමඟ නිරන්තරව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය ද මෙහිදී පල කෙරිණි.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, වෛද්‍යවරුන්ගේ පුහුණුවීම්, සේවා අවශ්‍යතාවය මත වෛද්‍යවරු රෝහල් වෙත අනුයුක්ත කිරීම්, වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් පිළිබදව ද සාකච්ජාවට භාජනය විය.

මෙම අවස්ථාවට වැඩ බලන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, අධ්‍යක්ෂ (තෘතියික සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු, අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය නියෝජනය කරමින් එහි සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ඇතුළුව එම සංගමයේ නිලධාරීන් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.
 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT