Home » එදා ඌව වෙල්ලස්ස වූ කලි අද ගාසා තීරය ය

එදා ඌව වෙල්ලස්ස වූ කලි අද ගාසා තීරය ය

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

විදුරුපොල ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනය පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගවරගම්මන ග්‍රාමයේය. ඌවේ උප ඒජන්ත සිල්වෙස්ටර් ඩග්ලස් විල්සන්ගේ නිවස්නය, අතින් අතට ගොස් 1968 වසරේදී විහාරස්ථානය සඳහා පූජා කර තිබේ. ඊයේ දිනය සහ මේ බංගලාව අතර සම්බන්ධයක් තිබේ.

හජ්ජි මුහන්දිරම්, සිංහලයන්ගේ අත්අඩංගුවට පත්ව ඇතැයි සැලවූ ඩග්ලස් විල්සන් 1817 සැප්තැම්බර් 16 වැනිදා, බිබිල ප්‍රදේශයට පැමිණෙන්නේ, බූටෑවේ රටේරාල සමඟ සාකච්ඡාවකටය. හමුවීම අසාර්ථක වූ විල්සන් යළි ගමන් ආරම්භ කළේ මුත් ඔහුගේ ‘ගමන නිමා කරමින්’ ඊතල පහර කිහිපයක් සිංහල සේනාවෝ එල්ල කරන්නාහ. ඉනාවැල්ලේ ඉබ්බාන්නා ඔය අසලදී මරණයට පත්වූ ඩග්ලස්ගේ හිස අසල දේවාල භූමියකට ගෙනැවිත් දමන්නේය. සේවා නූලට ගිනි ඇවිළෙන්නේ එතැනිණි. 1818 වනාහි මේ රටේ ස්වාධිපත්‍ය සඳහා වූ සටන් ඉතිහාසයේ නොමැකෙන සලකුණය. ව්‍යවස්ථාපිත උගුල් හෙවත් ගිවිසුම් සහ කෙටවීම් මතින් 1815 දී සිංහලය අපහරණයට ලක්විය. ගිවිසුම වනාහි අත්සන් එකතුවක් සහ කඩදාසි කැබැල්ලක් පමණක් වන බවට ; පැය කිහිපයක් යෑමට මත්තෙන් සුද්දෝ අපට කොකන් පා පෙන්වා දුන්හ.

වසර 205ක් ලෙස ඊයේ සමරන ලද්දේ මේ නිදහස් සටනය. අරගලයේ ආරම්භය ඩග්ලස්ගේ මරණය වුවද අවසානය සනිටුහන් කරනුයේ වීර කැප්පෙටිපොළගේ මරණයෙනි.

නොවැම්බැර් 25 වැනිදා වන විට ස්වභාවධර්මය පවා සිංහල පාර්ශ්වයට සහය ලබාදෙන්නට වූහ. කොළඹට හැමූ කුණාටුවකින් වරායේ නැව් සහ ඉංග්‍රීසීන්ගේ ගබඩා බොහොමයක් විනාශව ගියේය. ඌවේ සටන් මෙහෙයවූ මේජර් මැග්ඩොනල් ද පසු බැස යමින් සිටියේය. සැපයුම් මාර්ග සියල්ලම පාහේ සිංහල සේනාව අතට ගත් හෙයින් ඉංග්‍රීසින් උඩරට හැර දමා පලා යෑමේ හෝරාව එළඹ තිබුණි.

පාවාදීම ආරම්භ වන්නේය. මොල්ලිගොඩ, එක්නැලිගොඩ හා දොලොස්වල රාල ආදීන් ඉංග්‍රීසීන් වෙත ළං වූහ. භේදභින්නය මතුවිය. භින්න බැස සිට අතහැර දමා යන තැනට පත්වූ ඉංග්‍රීසීහු පැය විසිහතරක් තුළ අළු ගසා දමා නැඟිට සිටියහ. ලද ඔත්තුවක් අනුව සටනේ නායක තැන්පත් කැප්පෙටිපොළ මහ දිසාවේ, ඉංග්‍රීසි අත්අඩංගුවට පත්විය.

1815 සිට වසර තුනක් තුළ මේ සා නැඟිටීමක් යනු ඇදහිය නොහැකි ජවයකි. යටත්වීමේ සන්තෑසිය විඳව විඳවා සිටීමේ වුවමනාවක් ජාතිය හමුවේ නොවීය. එහෙව් මානසිකත්වයක් වෙනුවට ‘යමව්, වරෙව්… නැඟිටිව්’ යන ජාති වාත්සල්‍යය සිංහල පපු කුහර ඇතුළෙන් බුර බුරා නැඟෙන්නට වූහ.

දළදා වහන්සේ ද හඟුරන්කෙතට වැඩමවන ලද්දාහ. රාජ්‍යත්වයෙන් පිදුම් ලද විල්බාවේ කුමරුවෝ, වීරවික්‍රම ශ්‍රී කිර්ති නමින් රජව උන්නාහ. සියල්ල ඉංග්‍රීසි පරාජය සඳහා කේන්ද්‍ර ගතව තිබුණේ මුත් කැප්පෙටිපොළ අත්අඩංගුවට පත්වන තත්ත්වය දක්වා පාවාදීම භයානක වූ කල්හි ආපසු හැරුණේ 1818 නිදහස් සටන පමණක් නොවේ.

පරිසරය, කෘෂිකර්මය, ජනජීවිතය, ජන උරුමය සියල්ල විනාශ කිරීමට ඉංග්‍රීසිහූ පියවර ගත්හ. වර්තමාන භාෂාවෙන් පැහැදිලි කරන්නේ නම් ගාසා තීරයක් බවට ඌව වෙල්ලස්ස පත් කරන්නේය. වයස දහඅටට වැඩි සියලු පිරිමි ඝාතනය වන්නාහ. වැව් අමුණු වගා සියල්ල සුනුවිසුනු කරන්නාහ. ඌව වනාහි කටුසර වනාත්තරයක් කිරීම සඳහා අවැසි සියල්ලම සුද්දෝ ඉටු කළහ. හරකාබාන පවා ඝාතනය කරන ලද්දේ යටත් විජිතවාදීන් අද අපට දමා ගසන මානව හිමිකම් අවිය එදා අනික් පිට හරවමිනි. ඌවේ එදා සිදු වූයේ සමූල ඝාතනයකි. එය මිනිස් සංහතියට එරෙහිව සිදු කළ අපරාධ ගණයට අයත් වන්නකි. වැල්ලවායෙන් ආරම්භව මුළු ඌව වෙල්ලස්සේ කුඹුරු ලක්ෂ ගණනක් ගිනි තබා විනාශ කර වාර්තා කළ නොහැකි තරම් සිංහල ජීවිත මිලේච්ඡ ලෙස ඝාතනය කළ ඒ සංසිද්ධිය බ්‍රිතාන්‍ය රජයේ සේවකයෙක් ලෙස බදුල්ලේ සේවය කළ හර්බට් වයිට් වාර්තා කළේ “කැරැල්ලෙන් පසු ඌව ප්‍රදේශයේ ජනගහනය, කෘෂිකාර්මික පරිසරය පිළිබඳ නිශ්චිතව දැනගත හැකි ප්‍රමාණවත් සාක්ෂි නොමැත. නව පාලකයන් මෙම ප්‍රශ්නයට මුහුණදීමට අසමත්ව ඇත. යුද්ධයෙන් පසු ඉතිරි වූ අයගෙන් 4/5 කුඩා දරුවන්, කාන්තාවන් සහ මහල්ලන් පමණි. මෙම සංහාරය ඉතා භයානක වේ. කෙටි‍යෙන් කියන්නේ නම් මහත්වූ මිනිස් සංහාරයක් සිදුව ඇති අතර, ඌව නැවතත් යථා තත්වයට පත්වේදැයි කිව නොහැක.” ලෙසය.

අද ද ඌව ඒ සන්තෑසියෙන් අත්මිදී නැත්තේය. රටම තවම කරකැවෙන්නේ එදා වැරදුණු තැන වටාය. නිදහස යනු අප අද පෙළෙන ව්‍යාධි බොහොමයක් සඳහා වූ ඔසුවය. ඡන්දයක් තිබ්බා කියා වෙනස් නොවන මේ ලෝක වහල් ක්‍රමය අපට බල කර සිටින්නේ ‘ඒ මත්තේ’ රැඳී සිටින ලෙසය. හිස ඔසවාගෙන සිටිය ද පහත් කරගෙන සිටිය ද අපට ගමනක් නැති තරමට වහල් හිමියාගේ න්‍යාය පත්‍රය බරපතළය. කොයිඅත වුවද ඔවුහු තමනට රිසි අතට හසුරුවා ගන්නාහ. වසර 205ක් ගතව යන 1818 මහා නිදහස් අරගලය ශෝකාන්තයකින් එදා අවසන් විය. එය ඉතිහාස ගත වාර්තාවක් ලෙස ගෙන අද දවසේ ද අඬ අඬා යන්නේ නම් එතැන ඇත්තේ වර්තමානයේ ශෝකාන්තය ය.

උන් අපට ඉතුරු කරන ලද්දේ ‘පරාජයක් නොව පාඩමක්’ යන්න අද දවසේ අපගේ අර්ථකථනය විය යුත්තේය. තවම අපට ‘කේස් එකත් ස්ටඩි’ කර ගැනීමට නොහැකිවූ සඳහා බංකොලොත් රටක මෙහෙම දුක් විඳිනවා හැර අන් යමක් අපගේ උරුමය නොවන්නේය. පමාවට ඉතිහාසය සමාව දෙන්නේ නැත. එහි ශේෂය වනුයේ අනාගතය වඩාත් වහල්භවට පත්වීමය. දැන් ඉතිං අප සතුව ඇත්තේ එදා කැප්පෙටිපොළ ඇතුළු විරු කැල අතින් ගිලිහුණු ධජය යළි කණුව මුදුනේ රැඳවීමේ සටනය. ඒ සඳහා වන ප්‍රවේශය සහ අඛණ්ඩ සටන සඳහා ඉතිහාසය වීරයන් සොයනා මොහොත දැන් උදා වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x