ක්‍රීඩාව, රටක අභිමානයට මෙන්ම ආර්ථික, දේශපාලන, සමාජීය හා සංස්කෘතිය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන අතර, ඒවා රටක අනන්‍යතාවේ සහ සංවර්ධනයේ මූලික පදනම සකස් කරන සාධනීය හේතු බවට පත් වේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ආශ්‍රිතව බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවූ ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශයේ, අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනෝමා රත්නායක මහත්මිය සමඟ සිදු කළ සංවාදයකි මේ.
• වර්තමානයේ අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය පවතින්නේ මොනවගේ තැනකද?
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තත්ත්වය විවිධ පරාසයක ක්‍රීඩා ක්‍රියාකාරකම්වලින් සංලක්‍ෂිත වෙනවා. අපේ රට ශක්තිමත් ක්‍රිකට් සම්ප්‍රදායක් ඇති රටක්. එය ජනප්‍රියයි. ජාත්‍යන්තර වේදිකාවේ කැපී පෙනෙන ජයග්‍රහණ අත්කරගෙන තිබුණත්, මේ වන විට බොහෝ විවේචනයන්ට පත්ව තිබෙන ක්ෂේත්‍රයක් වෙලා. ඒ කෙසේ වුවත් නම් වශයෙන් සඳහන් නොකළත්, අනෙකුත් ක්‍රීඩාවනුත් විවිධාකාරයෙන් රටේ ක්‍රීඩා පරිසරයට ජාතික සහ ජාත්‍යන්තරව දායකත්වය දක්වනවා. ශ්‍රී ලංකාව, යටිතල පහසුකම්, අරමුදල් සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ක්‍රීඩා සඳහා පුඵල් පිළිගැනීමක් ඇති කිරීම සම්බන්ධයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දී තිබෙන කාලයක්. ක්‍රිකට්, පාපන්දු වැනි ක්‍රීඩාවන්හි පරිපාලනමය දුර්වලතාවන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රීඩා වේදිකාවේ අවධානයට යොමු වෙලා තිබෙනවා. එය එතරම් සුභදායක නැහැ.
ක්‍රීඩාව සංවර්ධනය, දියුණු කිරීම වෙනුවට ක්‍රීඩා පරිපාලනයේ සහ කළමනාකරණ දුවර්ලතාවන් හමුවේ ක්‍රීඩාව රැක ගැනීමට රාජ්‍ය මැදිහත්වීම සිදු කිරීම දක්වා වන තත්ත්වයකට ලාංකේය ක්‍රීඩාව පත්වෙලා. හරියට මේ රටේ දේශපාලන වේදිකාව වගේ ඉරණමක් ක්‍රීඩාවට අත්වෙලා තිබෙන්නේ. ක්‍රීඩාව ආරක්‍ෂා කිරීමේ නාමයෙන් කර ගැනීමට සිදුව තිබෙනවා. ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙසටම පත් කරන්නේ කෙසේ ද යන උභතෝකෝටික තැනක තමයි මෙරට ක්‍රීඩාව තිබෙන්නේ. ක්‍රීඩාව කියන්නේ මොකක් ද කියල බහුතරයක් වගකිවයුත්තන් දන්නේ නැහැ. ඒකයි මෙවැනි ඉරණමක් ලාංකේය ක්‍රීඩාවට අත්ව තිබෙන්නේ.
• ගෝලීය සබඳතා ගොඩනැඟීමේ දී එදාට වඩා අද ක්‍රීඩාවේ වැදගත්කම කෙබඳු ද?
අද අන්තර් සම්බන්ධිත ලෝකය තුළ ගෝලීය සබඳතා ගොඩනැඟීමේ දී ක්‍රීඩාවේ වැදගත්කම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන් විශාල ප්‍රජාවක් සම්බන්ධ වීම, නවීන තාක්‍ෂණය සහ මාධ්‍ය ආවරණය (මාධ්‍ය විස්තාරණය), හේතුවෙන් අද ගෝලීය සබඳතා ගොඩනඟා ගැනීමේදී ක්‍රීඩාව වඩාත් තීරණාත්මක වී තිබෙනවා.
ඒ වගේමයි, සංස්කෘතික භාවිතයන් සම්ප්‍රදායයන් සහ වටිනාකම් හුවමාරු කර ගැනීමට වේදිකාවක් වී තිබෙනවා. මෘදු බලය ප්‍රක්ෂේපණය කිරීමට, ගෝලීය ප්‍රතිරූපය වැඩි දියුණු කිරීමේ සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ක්‍රීඩාව භාවිත වෙනවා. ගෝලීය සුහදත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව තිබෙනවා. මහා පරිමාණ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් මඟින් (ඔලිම්පික්, ලෝක කුසලාන) ජාතීන් එකට එක් කිරීමට හැකි වී තිබෙනවා. සමාජ වෙනසක් සහ සමාජ දැනුවත්භාවය සඳහා ක්‍රීඩාව උත්ප්‍රේරකයක් ලෙස භාවිත කරනවා. ක්‍රීඩා ක්ෂේත්‍රය සැලකිය යුතු ලෙස ගෝලීය ආර්ථික බලවේගයක් බවට පත්ව තිබෙනවා. ආර්ථික අන්තර් රඳා පැවැත්මට සහ රටවල් අතර සබඳතා වර්ධනයට උපයෝගී කරගෙන තිබෙනවා. ඩිජිටල් වේදිකාව හරහා ක්‍රීඩා අන්තර්ගතයන්ට ප්‍රවේශ වීමේ පහසුව සහ ඒ සඳහා වන බාධක ඉවත් වී තිබෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශයන්ගේ සිට එකවර සම්බන්ධ වීමට, ක්ෂණික සම්බන්ධතාව, අදහස් සහ ඉදිරි දර්ශන හුවමාරු කර ගැනීමේ හැකියාව පවතිනවා.
මෙලෙස මාධ්‍ය ප්‍රවේශය, සංස්කෘතික හුවමාරුව, රාජ්‍යතාන්ත්‍රික බලපෑම, ගෝලීය රසික ප්‍රජාව, ජාත්‍යන්තර තරග, සමාජ බලපෑම, ආර්ථික බැඳීම් සහ තාක්‍ෂණික ප්‍රවේශතාව යන සංකලනය සාමූහිකව අතීතයට වඩා අද ගෝලීය සබඳතා ගොඩනඟා ගැනීම සඳහා ක්‍රීඩාව වඩාත් බලගතු වී තිබෙනවා.
• ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව සම්බන්ධව විවිධ විවේචන පවතිනවා. මොකක්ද මේ ගැටලුව?
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක් ද යන්නට බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පිළිතුර වන්නේ අත්පන්දු හෙවත් වොලිබෝල් යන්නයි. විකිපීඩියා වෙබ් පිටුවට අනුව ද එය “වොලිබෝල්” යන්න සඳහන් වුවත් ලංකාව තුළ එහි ඉතිහාසයක් ඇත්දැයි සඳහන් වෙන්නේ නෑ. 2020 පෙබරවාරි මස 4 වන දා දිනමිණ පුවත්පතට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව “වොලිබෝල්” ලෙස 1991 වර්ෂයේ දී නම් කර ඇති බව සඳහන් වෙලා තියෙනවා. තව ද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ වෙබ් පිටුවට අනුව “වොලිබෝල් යනු අපේ රටට වැදගත් ක්‍රීඩාවක් වන අතර එය ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවයි” යනුවෙන් සඳහන්වෙලා තිබුණා. නමුත්, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක් ද යන්න මෙතෙක් නිල වශයෙන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කරලා නැහැ.
• වගකිවයුතු පාර්ශ්ව මේ සඳහා මැදිහත් වී තිබෙනවාද?
මේ වසරේදී නිමාව දුටුවේ 47 වන ජාතික මහා ක්‍රීඩා උෙලළයි. එහිදීවත් මෙම ජාතික ක්‍රීඩාවක් ගැන සඳහන්ව තිබුණේ නැහැ. ජාතික ක්‍රීඩාවක් සැමරීම ගැනවත් සඳහනක් වුණේ නැහැ. සුපුරුදු ලෙස ක්‍රීඩා උළෙලක නිමාවක් තමයි සිදු වුණේ. ඒ නිසා වගකිවයුතු පාර්ශ්වයන් මේ සම්බන්ධයෙන් දැනුවත් ද යන්න සොයා බැලීමත් වැදගත් කියලා මා විශ්වාස කරනවා. අදාළ පාර්ශ්වයන්ගේ මැදිහත් වීමක් තිබුණ නම්, ඔබ අප සියලු දෙනාම මේ සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කියලයි මම හිතන්නේ.
• මේ සඳහා ඔබගේ යෝජනා මොනවාද?
ක්‍රීඩාවක් සමාජය තුළ වඩාත් යහපත් පිළිගැනීමකට ලක්වන්නේ ඒ තුළ පැහැදිලි අනන්‍යතාවක්, ආවේණිකත්වයක් හෝ සුවිශේෂීත්වයක් ගොඩනැඟී තිබුණොත් පමණයි. බොහෝ ගැළපුම් අවසානයේ මේ රටේ ජාතික ක්‍රීඩාව විය යුත්තේ “අංගම්පොර” ක්‍රීඩාව බව මට හැඟෙනවා. අංගම්පොර සටන් කලාව හා පැවත එන අපූර්ව සංස්කෘතියක්, විනයක් හා සදාචාරයක් තිබෙනවා. “අංගම්පොර” යනු අපේ ප්‍රෞඪ ඉතිහාසයේ පටන් පැවත ගෙන එන සටන් කලාවක්. අපට උරුම ජවසම්පන්නත්වය, ඉතිහාසගත අදීනත්වය සහ පුද්ගල පෞරුෂය ඒ තුළ මනාව ගැබ්ව තිබෙනවා. අපට උරුම, අපේම කලාවන් තුළින් ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැකි ශක්‍යතාවන් තිබෙනවා. ඒ නිසා මා යෝජනා කරන්නේ අංගම්පොර ක්‍රීඩාව ජාතික ක්‍රීඩාව වශයෙන් නම් කිරීම සුදුසු බවයි.
• පුහුණුවීම් කටයුතු ප්‍රමාණවත් පරිදි සිදු නොවන බවට චෝදනා නැඟෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඔව්, මොකද මේ සඳහා වන විධිමත් සැලසුම් සහ එම සැලසුම් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය විධිමත් ක්‍රමවේද අප රටේ ක්‍රීඩා පද්ධතිය තුළ තවමත් හඳුන්වාදී නැහැ. ඒ නිසා මේ තත්ත්වය සාමාන්‍ය බවට පත්වෙනවා. මේ නිසා දක්‍ෂ පිරිස් ක්‍රීඩාවට සමු දීම වැඩි ඈතක නැහැ. ඒ නිසා මේ සඳහා විධිමත් පදනමක් සකස් කළ යුතුයි. ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණුව වැඩි දියුණු කිරීම සඳහා යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම අප සිදු කළ යුතු වෙනවා. පුහුණු කිරීමේ විශේෂඥතාව සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවර්ධනය කිරීම ඇතුළුව පරිපූර්ණ ප්‍රවේශයක් තරගකාරී ක්‍රීඩාවන්ට අවශ්‍ය වෙනවා. සාර්ථක ක්‍රීඩා කරන රටවල් සමඟ සහයෝගීතාව වැඩි කර ගත යුතුයි. උපායමාර්ගික හවුල්කාරීත්වය සහ විවිධ තරග ආකෘතිවලට නිරාවරණය වීමෙන් ජාත්‍යන්තර ක්‍රීඩා පුහුණුවේ ඵලදායීතාව තවදුරටත් ඉහළ නංවා ගත හැකි වෙනවා. ඒ වගේමයි ජාත්‍යන්තර වේදිකාවේ තිරසර සාර්ථකත්වයක් සඳහා පුහුණු වැඩසටහන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩව ඇගයීමට ලක් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම අංශ ආමන්ත්‍රණය කිරීම මඟින් ජාතික හා ජාත්‍යන්තර පුහුණු ප්‍රමිතීන් අතර, පරතරය පියවා ගැනීමට උපකාරී වෙනවා.
• ක්‍රීඩා අධ්‍යාපනයේ අවශ්‍යතාව ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?
විවිධ හේතූන් නිසා ක්‍රීඩා අධ්‍යාපනය වැදගත් වෙනවා. එය ශාරීරික යහපැවැත්ම ප්‍රවර්ධනය කරනවා පමණක් නොව විනය කණ්ඩායම් වැඩ සහ නායකත්ව කුසලතා ද ඇති කරනවා. ක්ෂේත්‍රයෙන් ඔබ්බට එය චරිත සංවර්ධනය, ඔරොත්තු දීමේ හැකියාව සහ ආතතිය කළමනාකරණය සඳහා දායක වෙනවා. ඒ විතරක් නෙමෙයි, ක්‍රීඩා අධ්‍යාපනය ක්‍රීඩා කළමනාකරණය, පුහුණු කිරීම සහ ක්‍රීඩා විද්‍යාව යන වෘත්තීන් සඳහා මාර්ගයක් වෙනවා. සමබර පෞරුෂයකින් යුතු පුද්ගලයකු සමාජයට ප්‍රවේශ කරවන්න ක්‍රීඩා අධ්‍යාපනය අත්‍යවශ්‍යයි. මීට අමතරව ප්‍රායෝගික භාවිතය තුළින් ශාස්ත්‍රීය සංකල්ප ශක්තිමත් කිරීමට ක්‍රීඩා අධ්‍යාපනය අවශ්‍යයි. නොපසුබස්නා උත්සාහයේ සහ ඉලක්ක සැකසීමේ වටිනාකම උගන්වමින් පුඵල් අධ්‍යාපනික ඉලක්ක සමඟ සමපාත කරන්නට අවශ්‍යයි. සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී ජීවන රටාවක් උදෙසා දිරිමත් කරමින් ප්‍රජා සහභාගීත්වය සඳහා මෙවලමක් ලෙස ක්‍රීඩාවට සේවය කළ හැකියි. ක්‍රීඩා අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම අධ්‍යාපනික අත්දැකීම් පොහොසත් කරන අතරම පුද්ගලයාගේ සමස්ත සංවර්ධනයට දායක කර ගන්න පුඵවන්. ඒ නිසා ක්‍රීඩාවේ නිරත අයට පමණක් නෙවෙයි සෑම පුරවැසියකුටම ක්‍රීඩා අධ්‍යාපනය ලබා දිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි.
• ක්‍රීඩාව සම්බන්ධයෙන් අපේ රටේ කෙරෙන පර්යේ ෂණ කටයුතු ගැන සෑහීමකට පත්විය හැකිද?
විශේෂයෙන් ක්‍රීඩා උපාධි හඳුන්වා දී ඇති විශ්වවිද්‍යාල මඟින් සිදු කෙරෙන පර්යේෂණවල ප්‍රශංසනීය ප්‍රගතියක් ලබා තිබෙනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු වර්ධනය සඳහා සෑම විටම උත්සාහ ගැනීම දක්නට ලැබෙනවා. ජාත්‍යන්තර පර්යේෂණ සමුළු මෙන්ම ජාතික මට්ටමින් පර්යේෂණ වැඩසටහන් තිබෙනවා. පර්යේෂණ ඇගයීම් යම්තාක් දුරකට ආරම්භ වී තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පර්යේෂණ අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම අඛණ්ඩ උත්සාහයන් විශ්වවිද්‍යාල ආචාර්ය භවතුන්ගේ සහ විද්‍යාර්ථීන්ගේ උනන්දුව සහ කැපවීම සතුටු දායකයි. මේ උනන්දුව සහ උත්සාහයන් වැඩිදියුණු කිරීමට පර්යේෂණ අරමුදල් පුඵල් කිරීම, අන්තර් කාලීන සහයෝගීතාව දිරිගැන්වීම සහ පර්යේෂණ සොයා ගැනීම් ප්‍රායෝගික සැකසුම්වල යෙදීම ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ශක්තිමත් පර්යේෂණ පරිසර පද්ධතියක් පෝෂණය කිරීමෙන් ශ්‍රී ලංකාවට ගෝලීය දැනුම පදනමට වඩාත් ඵලදායී ලෙස දායක විය හැකි වෙනවා. ඒ තුළින් එහි ක්‍රීඩා ප්‍රජාවේ දියුණුව වැඩි දියුණු කිරීමට හැකියි.
• අපේ රටේ ක්‍රීඩා අධ්‍යාපනය න්‍යායාත්මක සහ ප්‍රායෝගික වශයෙන් දියුණු කරලීමට ඔබ යෝජනා කරන්නේ මොනවගේ සැලසුම්ද?
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය වැඩි දියුකිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී විෂයමාලා වැඩදියුණු කිරීම, යටිතල පහසුකම් ආයෝජනය (කාර්යසාධන විශ්ලේෂණය සඳහා රසායනාගාර පුහුණු බිම් සහ තාක්‍ෂණය ඇතුඵ නවීණ ක්‍රීඩා පහසුකම් සඳහා සම්පත් වෙන් කිරීම, ක්‍රීඩා අධ්‍යාපන විශ්වවිද්‍යාල/ආයතන/පාසල් සංවර්ධනය, පර්යේෂණ අරමුදල් වැඩිදියුණු කිරීම, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා උපකාරක වැඩසටහන් හඳුන්වා දීම, මහජන දැනුවත් කිරීම, ජාත්‍යන්තර සහයෝගිතා ඇතිකර ගැනීම යන අංගයන් මූලිකවම ආමන්ත්‍රණය කිරීමෙන් ශ්‍රී ලංකාවට දක්‍ෂ වෘත්තිකයින් බිහි කරනවා පමණක් නොව ජාතික ක්‍රීඩා සංස්කෘතියක් සමස්ත සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයන දියුණු ක්‍රීඩා අධ්‍යාපන පරිසරයක් නිර්මාණය කළ හැකි වෙනවා.
ශෂී ගමගේ
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය