Home » දිළි­ඳු­කම පිටු­ද­කින සම්ම­න්ත්‍ර­ණය 29-30 BMICHහිදී

දිළි­ඳු­කම පිටු­ද­කින සම්ම­න්ත්‍ර­ණය 29-30 BMICHහිදී

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග සම්බන්ධයෙන් සොයා බලන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කරගත් සුවිශේෂ සම්මන්ත්‍රණය එළඹෙන 29 හා 30 යන දිනයන්හිදී කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) කටයුතු යොදා තිබේ.

එම සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටලුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයන්, වෘත්තිකයන් හා පාර්ශ්වකරුවන් රැසක් එක්වීමට නියමිතව තිබෙන අතර 1990 වසරේදී සියයට 26.1 සිට 2016 වසර වන විට සියයට 4ක් දක්වා දරිද්‍රතාව අවම කරමින් 1990 දශකයේ සිට දරිද්‍රතාව අවම කිරීමේ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබුණ ද COVID-19 වසංගතයේ බලපෑම හා පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස ආර්ථිකය හැකිළීමට ලක්වීම හේතුවෙන් දරිද්‍රතාව සියයට 26ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

සංකීර්ණ හා විවිධ කරුණු රැසක් මූලික කරගත් දිනෙන් දින ඉහළ යන ගැටලුවක් වන මෙය විසඳීම සඳහා දරිද්‍රතාව අවම කිරීමට යොදාගත් ප්‍රතිපත්ති හා ක්‍රියාවලීන් අවබෝධ කර ගැනීමේ වැදගත්කම සහ එම තත්ත්වය ආපසු හැරවීමට හේතු වූ සාධක හඳුනා ගැනීමේ වැදගත්කම දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය මඟින් හඳුනාගෙන තිබෙන අතර එය හෙට දවසේ දිළිඳුකම පිටුදැකීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් සකස් කිරීමේ තීරණාත්මක පළමු පියවර වෙයි.

මෙම සාකච්ඡාවේ ප්‍රවේශයන් ලෙස අතීතය දෙස ආපසු හැරී බැලීම හා ඉදිරි බලාපොරොත්තු යන කරුණු යොදා ගනිමින් වත්මන් අර්බුදකාරී තත්ත්වය සහ ඉන් ඔබ්බට දරිද්‍රතාව මැන බැලීම සහ ඒ පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා වන අපගේ අවබෝධය හා අවධානය තුළින් කාලයත් සමඟ දිළිඳුකම සම්බන්ධ ගැටලු සමාලෝචනයට ලක් කිරීමටත් නියමිතය.

අනාගත දරිද්‍රතාව අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් අතීතයේදී සිදු කළ සාර්ථක ප්‍රයත්නයන්හි කාර්යභාරය තක්සේරු කිරීම එක් ප්‍රමුඛ ප්‍රතිඵලයක් වන අතර මෙම සම්මන්ත්‍රණයේ 29 වැනි දින සමාරම්භය සනිටුහන් කරමින් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය රණ හසන් මහතා විසින් ප්‍රධාන දේශන පැවැත්වීමට නියමිතයි.

මෙම සුවිශේෂ දින 2ක කාලයක් තුළ ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සම්බන්ධ ප්‍රධාන තේමාවන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් කීර්තිමත් කථිකයන් හා ප්‍රවීණයන් BMICH වෙත එක්වනු ඇති අතර සමාරම්භක දිනයේදී ශ්‍රී ලංකාව සඳහා වන සාර්ව ආර්ථික සම්බන්ධ කර ගැනීම් හා ඉදිරි කටයුතු පිළිබඳ සොයා බලන විවිධ අදහස්වලින් උණුසුම් වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT