Home » ත්‍රිකුණාමලය පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල සංචාරක ව්‍යාපෘතියකට

ත්‍රිකුණාමලය පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල සංචාරක ව්‍යාපෘතියකට

by chanaka
November 27, 2023 10:54 am 0 comment

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල පිහිටි ඉඩම් කොටස සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමට අදාළ සඳහා අනුමැතිය ලබාගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනටමත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසක් වෙනුවෙන් මහනගර සංවර්ධන සැලැස්මක් පිළියෙල කර එය අංක 1534/8 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇති බවයි. එම සැලැස්මෙන් ආවරණය වන ප්‍රදේශය වාණිජ හා සංචාරක කටයුතු පුළුල් කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවද අමාත්‍යවරයා පවසයි.

නැගෙනහිර පළාතේ අගනගරය ත්‍රිකුණාමලය නගරයයි. එම නගරයේ පිහිටි නිලාවේලී වෙරළ, කිරිගරුඬ වෙරළ, ස්වාභාවික වරාය, ෆෙඩ්රික් කොටුව සහ පුරා විද්‍යා ප්‍රදේශ ගණනාවක් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයන්වේ.

ත්‍රිකුණාමල නගරය කරා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාව දිනපතාම වැඩිවේ. එබැවින් නගරයේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ පිහිටි දැනට කිසිඳු භාවිතයකට ගෙන නොමැති පැරණි ලන්දේසි ගොඩනැඟිල්ල යොදා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම්කර තිබෙන බවද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන්වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙන්නේ එම ගොඩනැඟිල්ලේ පෞරාණික බව ආරක්ෂකර ගනිමින් එම නවීකරණ කටයුතු සිදුකරන ලෙසයි.

මීට අමතරව ත්‍රිකුණාමලය නගරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා ආකර්ශණීය නගරයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය විනෝදාස්වාද පහසුකම්, නවීන ආපනශාලා, හෝටල්, නගර අලංකරණය හා සනීපාරක්ෂන පහසුකම් මෙන්ම සුපිරි වෙළඳසැල් ද මේ යටතේ වැඩි දියුණු කරන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ වැඩිදුරටත් සඳහන්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT