Home » වන­මන්දා විහා­රයේ පිත්තල කරඬු ඉස්සූ හීර­ලුවා දැලේ

වන­මන්දා විහා­රයේ පිත්තල කරඬු ඉස්සූ හීර­ලුවා දැලේ

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

අලව්ව ජයන්ත දිසානායක

ගිරිඋල්ල නාරංගොඩ වනමන්දාව රජමහා විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරයේ තැන්පත් කිරීමට විහාරස්ථානයේ ආවාස ගෙහි තබා තිබූ පිත්තල කරඬු 02 ක් ඉකුත් ඔක්තෝබර් මස 18 වැනිදා සිට විහාරස්ථානයෙන් අස්ථානගත වීම සම්බන්ධව විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ බව ගිරිඋල්ල පොලීසිය කියයි.

පිත්තලෙන් නිම කළ උස අඩි 3, 2/1 කින් යුතු මුදලින් රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා එම කරඬු විහාරාධිපති හිමියන්ගේ අනුදැනුම මත එහි වැඩ විසූ හිමි නමකගේ භාරයේ තිබී ඇති බව පොලීසිය පවසයි. විහාරාධිපති හිමියන්ගේ පැමිණිල්ලට අනුව එම විහාරස්ථානයේ සිටි අලුත මහණ වූ හිමි නමකගේ අතුරුදන් වීම ගැන පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඒ වන විටත් විවිධ ප්‍රදේශවල සැරිසරමින් සිටි එම හිමි නම සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

කුලියාපිටිය වැලිපැන්න ගහමුල්ල ප්‍රදේශයේ දී එම චීවරධාරියාගේ දියණියක යැයි හඳුන්වන තැනැත්තියගේ නිවසේ සිවුරු හැර දමා රැඳී සිටි 45 හැවිරිදි එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේ දී ඒ වන විටත් ගිරිඋල්ල ආසන්න ප්‍රදේශයේ පිත්තල භාණ්ඩ කඩයකට අලෙවි කර තිබූ පිත්තල කරඬු 02 සහ තවත් පිරිකර ඇතුළු බඩු භාණ්ඩ පිළිබඳ තොරු රැසක් හෙළිදරව් කර ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියාව සිටි පුද්ගලයා එම විහාරස්ථානයේ දී විහාරාධිපති හිමියන් යටතේ මාස 06 කට පමණ ඉහත මහණ වී ඇති බවත් ඔහු භාරයට පත් කර තිබූ පිත්තල කරඬු සහ පිරිකර ආදී බඩු භාණ්ඩ එම විහාරස්ථානයට ගෙන්වාගත් පිරිකර ආදී පූජා භාණ්ඩ මිලදී ගන්නා ගැනුම්කරුවකුට අලෙවි කර තිබිණි.

සැකකාර චීවරධාරියා කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT