Saturday, May 10, 2025
Home » ලයි­සන් නැති කොල්ලාගේ යතු­රු­පැ­දි­යට හැටේ සීයා බිලි

ලයි­සන් නැති කොල්ලාගේ යතු­රු­පැ­දි­යට හැටේ සීයා බිලි

by Gayan Abeykoon
November 27, 2023 1:00 am 0 comment

කොට්ටාව ප්‍රදීප් කුමාර

රිය පැදවීමට රියදුරු බලපත්‍රයක් හෝ නොමැති විසි හැවිරිදි තරුණයකු අපරික්ෂාකාරී ලෙස පැදවූ යතුරුපැදියක ගැටී හැට හැවිරිදි පුද්ගලයෙකු (25දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රගති මාවත, අංක 415/සි/2 හි පදිංචි සමරතුංග දේවගේ ප්‍රේම ජයන්ත නමැති (60) හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පෞද්ගලික අවශ්‍යතාවක් සදහා හොරණ කොළඹ බස් මාර්ගයේ යමින් සිටියදී කහතුඩුව හන්දිය ආසන්නයේ පිහිටි හාඩ්වෙයාර් ආයතනයක් ඉදිරිපිටින් පාර මාරුවීමට යාමේ දී පිළියන්දල දෙස සිට හොරණ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිය මීටර් 20 පමණ ඈතට විසිවී නැවතී ඇති අතර ඉන් පැදිකරු, පසු පැදිකරු හා පදිකයා තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇති බවත් ඒ වනවිටත් පදිකයා මියගොස් තිබූ බවත් පොලිසිය පවසයි.

පසුව කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පැමිණ ස්ථානිය පරීක්ෂණය සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේය.

අනතුර සිදු කළ යතුරු පැදිය පැදවූ පොල්ගස්ඕවිට හෙරලියාවල පදිංචි 20 හැවිරිදි පැදිකරුට රිය පැදවීමට රියැදුරු බලපත්‍රයක් හෝ තිබී නොමැති බවත් ඔහු මේ වන විට වෑතර දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර සුව වූ වහාම ඔහු අත් අඩංගුවට ගෙන කැස්බෑවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.

පැදිකරු ගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය කියයි

සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් මහතා ඇතුළු නිලධාරිහු ඉදිරි පරීක්ෂණ පවත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT