Home » කහ­තු­ඩුව මාරක රිය අන­තු­රින් අයෙක් මරුට: පැදි­ක­රු­ටත් අසා­ධ්‍යයි

කහ­තු­ඩුව මාරක රිය අන­තු­රින් අයෙක් මරුට: පැදි­ක­රු­ටත් අසා­ධ්‍යයි

by Gayan Abeykoon
November 27, 2023 10:39 pm 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

හොරණ කොළඹ මාර්ගයේ කහතුඩුව ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් සියයකට ආසන්න වේගයකින් ධාවනය කරමින් තිබූ යතුරුපැදියක ගැටී පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා පසුපැදිකරු අනතුරින් පසුව වෑතර දිසා රෝහලටත් ඉන් අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහලටත් මාරු කර යවා ඇති අතර, බරපතළ තත්ත්වයේ පසු වූ පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව කහතුඩුව පොලිසිය පවසයි.

අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් මෙසේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ පොල්ගස්ඕවිට හෙරලියාවල පදිංචි 20 හැවිරිදි තරුණයකු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම තරුණයාට වාහන පැදවීම සඳහා රියැදුරු බලපත්‍රයක් හෝ තිබී නොමැති බවත් මෙම යතුරුපැදිය තනි රෝදයෙන් රේස් පැදීම සඳහා සයිලන්සරය කෙටි කොට ශබ්දය වෙනස් කොට විශේෂයෙන් සැකසූ එකක් බවත් පැවසේ. ඉකුත් 25 දා රාත්‍රී පිළියන්දල දෙස සිට හොරණ දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියේ කහතුඩුව පොලිසියට යාබදව පිහිටි හාර්ඩ්වෙයාර් වෙළෙඳසැලක් ඉදිරිපිටින් පාර මාරු වූ බව පැවසෙන 60 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරේ ගැටී මියගොස් තිබුණි.

අනතුරින් මියගිය පුද්ගලයාගේ කශේරුකාව හා පපුවට පහළින් ඉලඇට කැඩී බරපතළ තුවාල සිදුව තිබූ අතර, වම් අත සහ වම් කකුල ද බිඳී ගොස් තිබුණි.

ඒ අනුව මියගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් සිදු කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්ලිව්. මහේෂ් ලෝවේ මහතා විසින් නිකුත් කර තිබූ අතර, ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක ගැටී පපුවට, ගෙලට, අත් පාවලට සිදුවූ බරපතළ තුවාලවලින් වූ මරණයක් බවට නිගමනය කළේය.

මෙසේ මියගොස් ඇත්තේ කහතුඩුව ප්‍රගති මාවත, අංක 415/සී/2 හි පදිංචි සමරතුංග දේවගේ ප්‍රේම ජයන්ත නමැති (60) හැවිරිදි පුද්ගලයෙකි.

එසේම රිය අනතුරට සම්බන්ධ යතුරුපැදිය පැද වූ පැදිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් රියැදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට යතුරුපැදියක් ලබා දුන් යතුරුපැදියේ හිමිකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් පැදිකරුගේ දෙමාපියන් ගෙන්වා අවවාද කරන ලෙසත් සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT