ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේදීත් ශ්රී ලංකා දඟ පන්දු යවන ක්රීඩක මහීෂ් තීක්ෂණ සහ වේග පන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ කණ්ඩායමේ රඳවා ගැනීමට 2023 තරගාවලියේ ශූරතාව දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබේ.
2024 වසරේ පැවැත්වීමට නියමිත අයිපීඑල් තරගාවලිය සඳහා පැවැත්වෙන ක්රීඩක වෙන්දේසියට පෙර සියලු කණ්ඩායම් විසින් තමන් රඳවා ගන්නා ක්රීඩකයන්ගේ නම් නිවේදනය කළ යුතු අතර, එහි අවසන් දිනය වූ ඊයේ මහීෂ් සහ මතීෂ රඳවා ගත් බවට චෙන්නායි පිල නිවේදනය කළේය.
මේ දෙදෙනාට අමතරව පසුගිය අයිපීඑල් තරගාවලියට ශ්රී ලංකා තුන් ඉරියව් ක්රීඩකයන් වන දසුන් ශානක සහ වනිඳු හසරංග සමඟ භානුක රාජපක්ෂ ද එක්ව සිටි අතර, ඔවුන් තිදෙනා සංචිතවල රඳවා නොගෙන නිදහස් කිරීමට එම කණ්ඩායම් කටයුතු කර තිබිණි.
පසුගිය තරගාවලියේදී ශානක ගුජරාට් ටයිටන්ස් පිලට එක්ව සිටි අතර, වනිඳු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ භානුක පන්ජාබ් කිංග්ස් පිලට එක්ව සිටියහ.
ඒ අනුව ඔවුන්ට යළි තරගාවලියට එක්වීමට නම් ඉදිරියේදී පැවැත්වෙන ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත් වීමට සිදු වනු ඇත.