Monday, June 17, 2024
Home » අප­චාර සඳහා ඉක්මන් ප්‍රති­චා­රය, මිථ්‍යා­චා­ර­යට හොඳම වැටය

අප­චාර සඳහා ඉක්මන් ප්‍රති­චා­රය, මිථ්‍යා­චා­ර­යට හොඳම වැටය

by Gayan Abeykoon
November 28, 2023 1:00 am 0 comment

නුවට ගීතයක් ලිවීමේ අභියෝගය ජය ගත් සාර්ථක අවස්ථාවක් වන්නේ ‘සමනලයා මල හා ළමයා සේ …’ යන ගීතයය. එඩ්වඩ් ජයකොඩි විසින් මේ සඳහා වන තනුව පිළිබඳව අදහස් ලබා ගනු වස් ප්‍රේමකීර්ති ද අල්විස් වෙත තනුව අනුව එහෙන් මෙහෙන් ආ වචන කිහිපයක් ලෙස ‘සමනලයා මල හා ළමයා’ යන වචන කිහිපය මිමිනුවේය. ඒ ගීතය සඳහා වචන නොව තනුව අනුව වචන ශබ්ද වනුයේ කෙසේ දැයි යන්න සඳහා අදහසක් පමණය.

පසුදා මේ වචනම ආරම්භය සේ ගෙන ප්‍රේමකීර්ති ද අල්විස් නම් විශිෂ්ටයා ‘සමනලයා මල හා ළමයා සේ…’ නම් වූ මනරම් පද වැල් ගෙතුවේය. බාල ළමා වයස වනාහි ජිවිතයේ උදෑසනය. ‘උදෑසන දවස දක්වන්නා සේ ළමා විය ජීවිතය දක්වන්නේය’යන කියමනෙන් විස්තර කරන්නේ ඒ කතාවය.

බරසාර ජීවිතයක් වනාහි, විනය පළමු තැනේලා ලියවෙන්නෙකි. විනයවත් ජීවිතය ධන ධාන්‍ය, යස ඉසිරු, කිත් යසස් ආදී කිසිවක් අදාළ කර ගන්නේ නැත. ඒ මත්තේ නහින්නේ ද නැත. තම විනය රාමුව තුළ ස්ථානගත වන මිනිසා වනාහි තමාට තමා සරණ කර ගත්තෙකි. පෙළෙහි, ආත්ම වග්ගයේ කුමාර කාශ්‍යප මාතා කතා පුවතේ එන ‘අත්තා හි අත්තනො නාථො – කො හි නාථො පරො සියා – අත්තනා’ව සුදන්තෙන – නාථං ලභති දුල්ලභං’ හෙවත් තමාට තමා ම පිහිට වන්නේ ය. තමා හැර අන් කවරෙක් තමා හට පිහිට වන්නේ ද? ඉන්ද්‍රිය දමනයෙන් මනා කොට දැමුනා වූ තමා කරණ කොට ගෙනම පරම දුර්ලභ වූ ප්‍රතිෂ්ඨාව ලබන්නේ ය. යන්න අනුව ආත්ම දමනය ඇති තැනැත්තෝ ‘අද නම් ජීවත් වන්නේ අවමයෙනි’.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පසුගියදා දිග හැරුණු කාරණයක් අද මේ තීරුව සිය මාතෘකාව බවට පත් කර ගන්නේය. මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ළමා ලිංගික අපයෝජන 168ක් වාර්තා වී ඇති බවත්, ඉන් වයස 16ට අඩු ගැහැනු ළමුන් 22ක් ගැබ්ගෙන ඇති බව එහිදී අනාවරණය විය.

මේ ගණන් හිලව් හෙළි කිරීම් ආදිය ලබා දුන්නේ සිවිල් සංවිධාන කිහිපයක් විසිනි. ඔවුන් මේ සඳහා වන විසඳුම ලෙස දුටුවේ ළමුන් සඳහා ලිංගික අධ්‍යාපනය ලබා දීම නම් පිළිවෙතය. ළමෝ සඳහා යමක් උගන්වන්නේ නම් ඒ සඳහා දුර දැක්මක් සහිත ප්‍රවේශයක් තිබිය යුත්තේය. නව යොවුන් වියේ පසු වන්නේ වුවද ළමෝ වනාහි ගෙදරට මල් සේය. එහෙව් දරුවාගේ ඇඟට නොදැනුන යමක් බලෙන් දැනුම ලෙස ලබා දෙන සඳ, ඒ පිළිබඳව වූ අත්දැකීම සඳහා ද ඔවුහු පෙලඹෙන්නාහ. මේ නිසා දෙකේ පන්තියේ සිටම ප්‍රජනන පද්ධතිය ඉගැන්වූවා කියා, ළමා අපචාර සම්බන්ධයෙන් සෙතක් වන්නේ නැත.

ළමා අපචාර වනාහි නොමනා වැඩිහිටියාගේ අසනීපයක් ළමයා වෙත කාන්දු කිරීමකි. මෙතැනදී ඉගෙනුම අවශ්‍ය වැඩිහිටියා නම් නොදරුවාටය. අනික ගෙදරින් දරුවා වෙත ලබාදෙන ‘මෙවැනි පිළිවෙත් සම්බන්ධයෙන් වන ප්‍රවේසම් සහගත පිළිවෙතය’.

වත්මන් වැඩිහිටියා යනු ‘ඕසෙට විසේ හිසට ගත්’ තැනැත්තෙකි. පොදු ප්‍රවාහන සේවයක අන් අයෙකුට නිදහසේ යන්නට බැරිය. ඇඟක් පතක් ගෑවුණු සැණින් කුලප්පුව සෑදෙන්නේය. බාබිඩෝල් කෙනෙක් බස් එකේ කෝච්චියේ පටවාගෙන ගිය ද මුන්ගෙන් විසුමක් නැත. එසේ නම් ඇඟ පත හැදී වැඩීගෙන එන දරුවෙක් කෙසේ මේ සමාජයේ වාසය කරම් ද යන ප්‍රශ්නය තිබේ. දඬුවම තද විය යුතුය. දුටු තැන අල්ලාගෙන දැඩි දණ්ඩනය සඳහා එවන් ගෝත්‍රිකයන් ලක් කළ යුත්තේය. ඒ වූ පමණින් මේ සත්තු සැටගන්නේ නැත. 2017 වර්ෂය අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ වසර දහයකට වඩා කල්ගත වූ ළමා අපයෝජන සිද්ධීන් 1700කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබුණි. 2018 අවසන් වන විට එය, විසිදාහ ඉක්මවා ගොස්ය. ඔය ආකාරයෙන් යුක්තිය පමා වන කල්හි එතැන් සිටම අයුක්තිය රජ වන්නේය. දිගින් දිගටම වින්දිතයා අපචාරයට ලක්වන්නේ මේ පමාව නිසාය. එසේම ඔහොම වැඩේ ඇදෙන බව දන්නා නිසා සත්තු ද දිරිමත් වන්නාහ. සතියෙන් දෙකෙන් බැරි නම් මාසයෙන් මේ සඳහා වහ වහා තීන්දු දීය හැක්කේ නම් ස්වයං විනය නැති තෙමේ, දණ්ඩනයෙන් හිලෑ වනු ඇත්තේය. මෙතැනදී ඒකත් නැත්තේය. එසේ නම් මේ අපරාධ තටු සලා ඉගිළෙනවා අපට බලා සිටිය හැක්කේය. මුලින්ම අවටද පසුව අපේ හිසට උඩින් ඒ අපරාධ පියඹා යනු ඇත්තේය. ඒ වෙලාවට ලවක් දෙවක් නැතිව දෙස් දෙවොල් තැබූ පමණින් අපට පිහිටට එන කිසිවෙක් නැත.

මේ නිසා සාමාජයක් ලෙස මේ සිද්ධිය අප අතට සහ සිතට ගත යුත්තේය. සැකය මත්තේ සමාජයක් ධාවනය වන්නේ නැත. එකිනෙකා සැක කර ගත් වටපිටාවක් යනු ආත්මාර්ථය මිස අනෙකා සඳහා උදවු පදවු කරනා සමාජයක් නොවේ. එහෙත් මේ සත්තු පිළිබඳව සැකය අතහැර අපට ජීවත් විය නොහැකිය. සිද්ධි වාර්තා වුණා කියන්නේ අපේ ඇ‍ඟේ වදින්නේ නැති දෙයකි. සිද්ධිය අපේ ගෙදරින් වාර්තා වුණා කියන්නේ, අප වැඩේ ඇඟට ගැනීමය. එතරම් දුර යන තෙක් අප සිටිය යුත්තේ නැත. වාර්තා වී ඇති සිද්ධි දෙස බලන විට පරිමාව පැහැදිලිය. කේස් ගණනාවක් මේ ඉලක්කම් තුළ ඇත්තේ නැත. එහෙයින් වැඩේ මීට වඩා අනිවාර්යෙන්ම බරපතළය.

සමනලයා, මල හා ළමයා සේ’ නම් වූ සමාජය වෙනුවට වනචරයා සහ ළමයා යන සමාජ කතිකාවත දැන් ඉස්මුරුත්තාව දක්වා ඇදී ගොස් තිබේ. මහ වරුෂාව හමුවේ සමනල වැවේ වාන් දොරටු ඉබේ විවර වූවා සේ, නිහඬව සිටීමේ, අපේ නොහික්මුණුභාවය හමුවේ අපචාර දැන් දෝරේ ගලා ගොස් තව ටික දිනකින් වාන් දොරටු ද ඉබේ විවර වෙනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x