Home » සමඟි ජන­ බ­ල­වේ­ගයේ පස් දෙන­කුට එරෙහි වාරණ හා අතුරු තහ­නම් නියෝ­ගය දික් කෙරේ

සමඟි ජන­ බ­ල­වේ­ගයේ පස් දෙන­කුට එරෙහි වාරණ හා අතුරු තහ­නම් නියෝ­ගය දික් කෙරේ

by Gayan Abeykoon
November 28, 2023 1:00 am 0 comment

චන්දන ජයවීර

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වාලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමඟි ජනබලවේගයේ පස් දෙනකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ හා අතුරු තහනම් නියෝගය කොළඹ දිසා අධිකරණය ලබන දෙසැම්බර් 11දා දක්වා දීර්ඝ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ඉදිපත් කළ කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (27) මේ නියෝගය දුන්නේය.

මේ නඩුව විභාගයට ගත් අවස්ථාවේ විත්තිය පෙරකලාසි ගොනු කරන ලද අතර විරෝධතා ගොනු කරන තෙක් වාරණ නියෝගය දීර්ඝ කරන ලදී.

2020 වසරේ අප්‍රේල් 25දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ඒ.එච්.එම්. ෆවුසි මහතා සමඟි ජනබලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ අතර තේරී පත් නොවීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ නගර සභාවට තරග කිරීමට පසුගිය ජනවාරි 24දා ඉල්ලා අස්වීම නිසා සජබ මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුවක් ඇති විය.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය අනුව තේරීම් බාර නිලධාරියා විසින් පුරප්පාඩු වූ ආසනයට අනුපාප්තිකයා වශයෙන් මැතිවරණ පනතේ 64 (2) හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13)(ආ) යටතේ 9 වැනි පාර්ලිමේන්තුවට නම් කරන ලදී.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවකට ෆවුසි මන්ත්‍රීවරයා පක්ෂව ඡන්දය භාවිත කිරීමෙන් පසු පැමිණිල්කරුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බව ලිපියක් සමඟි ජනබලවේගය නිකුත් කර ඇත.

සජබ සාමාජිකත්වය අත්හිටුවීම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටින පැමිණිලිකරු තමා කිසිවිටකත් සමගි ජනබලවේගයේ සාමාජිකත්වය නොගත් බවත් ඒ නිසා විත්තිකරුවන්ට තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බව කියා සිටී.

ඒ අනුව නඩුව අසා අවසන් වන තෙක් පැමිණිලිකරුට එරෙහිව කිසිදු විනය පියවරක් ගැනීම වළක්වන ලෙස ඉල්ලා ෆවුසි මහතාට කළ ඉල්ලීම පිළිගත් දිසා විනිසුරුවරයා මේ නියෝගය ලබා දුන්නේය. ඒ අනුව සජබ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, නියෝජ්‍ය ලේකම් අශෝක් අබේසිංහ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන අයට එක්ව හෝ වෙන්ව පැමිණිලිකරුට එරෙහි කිසිදු විනය පියවරක් ගත නොහැකිය.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ දිනේශ් විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සමඟ චන්දිමාල් මෙන්ඩිස්, මෙහෙරාන් කලීම්, පුලස්ති රූපසිංහ නීතිඥවරු පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT