Tuesday, May 13, 2025
Home » ක්‍රිකට් ආය­ත­නය පිහි­ටුවා තිබෙන්නේ පන­ත­කින්: එහි නිල­ධා­රීන්ට තමන්ට රිසි සේ කට­යුතු කරන්න බෑ
ක්‍රිකට් නඩුව:

ක්‍රිකට් ආය­ත­නය පිහි­ටුවා තිබෙන්නේ පන­ත­කින්: එහි නිල­ධා­රීන්ට තමන්ට රිසි සේ කට­යුතු කරන්න බෑ

ක්‍රිකට් අතුරු පාලක කමිටු සභා­පති අභි­යා­ච­නා­ධි­ක­ර­ණය හමුවේ කියයි

by Gayan Abeykoon
November 28, 2023 1:00 am 0 comment

නෙල්කා මැදගෙදර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හුදෙක් ක්‍රීඩා සමාජයක් නොවන අතර එය පාර්ලිමේන්තු පනතකින් පිහිටවූ ජාතික ආයතනයක් වන බැවින් එහි නිලධාරීන්ට තමන්ට රිසි සේ කටයුතු කළ නොහැකි බව ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා ඇතුළු සාමාජිකයන් අභියාචනාධිකරණය හමුවේ ඊයේ (27) සඳහන් කළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරමින් ක්‍රීඩා ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සමේ වගඋත්තරකාර අර්ජුන රණතුංග මහතා ඇතුළු ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මේ පෙත්සම පස් වන දිනටත් සලකා බැලීම සිදු කෙරිණි.

එහිදී පෙත්සමේ වගඋත්තරකාර ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් සඳහන් කළේ කරුණු සඟවමින් සහ වැරදි සහගත කරුණු ඉදිරිපත් කරමින් අදාළ අතුරු තහනම් නියෝගය ලබා ගැනීමට පෙත්සම්කරු කටයුතු කළ බවයි.

පෙත්සම්කරුගේ මේ ක්‍රියාකලාපය ගැටලු සහගත බව ඒ මහතා කීය. පෙත්සම්කරු මේ වන විටත් වැරදි කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය දිගින් දිගටම නොමඟ යැවීමට කටයුතු කරන බව ඒ මහතා කීය.

පෙත්සම්කරුගේ නීතිඥවරයා අදාළ අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට කරුණු ඉදිරිපත් කරමින් මෙහි සියලු වගඋත්තරකරුවන්ට නොතීසි යැවූ බව සඳහන් කළ බව ඒ මහතා කීය.

මේ වන තෙක්ම සිය සේවා දායකයාට හෝ අතුරු පාලක කමිටුවේ කිසිදු සාමාජිකයකුට නොතීසි ලැබී නැති බව ඒ මහතා පැවසීය. එය අභියාචනාධිකරණ රෙගුලාසිවලට පටහැණි බවද, විවෘත අධිකරණයේදී අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම අධිකරණයේ අවධානයට යොමු කළ යුතු බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එමඟින් පෙත්සම්කරු වංචනිකව කටයුතු කරමින් අදාළ අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට පෙර කරුණු ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට ඇති අයිතිය හිතාමතාම වළක්වා ඇති බව ඒ මහතා කීය.

එසේම අතුරු කමිටු සාමාජිකයන්ගේ ලිපින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලිපිනය සඳහන් කර ඇති බව ද එම ලිපිනයේ පදිංචිව සිටියේ පෙත්සම්කරු ම බව ඒ මහතා කීය. පෙත්සම්කරු විසින් නොතීසි යවා ඇත්තේ පෙත්සම්කරුටම බව ඒ මහතා කීය.

එසේම වගඋත්තරකාර පාර්ශ්වයට නොතීසි ලබාදීමෙන් තොරව කරුණු ඉදිරිපත් කර අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීමට තරම් කඩිමුඩියක් තිබුණේ කවර හේතුවක් මත ද යන්න විමසා බැලිය යුතු බවද ඒ මහතා සඳහන් කළේය. එමඟින් ද අධිකරණය නොමඟ යැවීමට පෙත්සම්කරුට වූ යටි අරමුණ පැහැදිලි වන බව ඒ මහතා කීය.

ෂම්මි සිල්වා මහතා පෞද්ගලිකව මේ පෙත්සම ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි සමස්ත සාමාජිකයන් ෂම්මි සිල්වා මඟින් නියෝජනය නොවන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. පෞද්ගලිකව පුද්ගලයකුට ආයතනයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම මේ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව යෝජනාවක් සම්මත කරගත් බවට පෙත්සම්කරු දිවුරුම් ප්‍රකාශයක් මඟින් කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව ඒ මහතා කීය.

විධායක කමිටු සාමාජිකයන් ගණනාවක් ඊට අත්සන් තබා නැති බව ඒ මහතා කීය. විධායක කමිටුවේ සියලු සාමාජිකයන් ඊට අත්සන් තැබිය යුතු බව ඒ මහතා සඳහන් කළේය. විගණකාධිපති වාර්තාවට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කර ඇති නමුත් ඒ බවට අධිකරණයට වචනයක් හෝ සඳහන් කිරීමට පෙත්සම්කරු කල්පනාකාරී වී ඇති බව ජනාධිපති නීතිඥවරයා කීය. අධිකරණයෙන් සහන ලබා ගැනීමට නම් පෙත්සම්කරු සුපිරිසිදු දෑතින් පැමිණිය යුතු බව ඒ මහතා කීය.

ප්‍රතිඋත්තරවලදී ද එම කරුණු සැඟවීමට පෙත්සම්කරු උත්සාහ කර ඇති බව ඒ මහතා කීය. එම විගණන වාර්තාවට තමාගෙන් මේ වන තෙක් කිසිදු කරුණු විමසීමක් නොකළ බව තමන්ට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු චෝදනාවක් එල්ල කර නැති බවට පෙත්සම්කරු කර ඇති සඳහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ සිදු වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ක්‍රිකට් තරග නැරඹීමට ක්‍රිකට්වලට කිසිසේත් සම්බන්ධ නැති පුද්ගලයන් 36දෙනකු ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වැය කර ඇති බව ඒ මහතා කීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආදායම් ලබන්නේ ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන නිසයි. ඒ මුදල් තමන්ට හිතූ හිතූ ආකාරයට වියදම් කළ නොහැකියි. පෙත්සම්කරු පෞද්ගලිකව ක්‍රීඩා සමාජයක් කරනවානම් ඔහුට රිසි ලෙස මුදල් වැය කළ හැකියි. එහෙත් රට වෙනුවෙන් ලැබෙන මුදල් එහෙම වියදම් කරන්න බෑ” යනුවෙන් ඒ මහතා කීය. මූල්‍ය අක්‍රමිකතා සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාවේ ඇති මේ කරුණු සියල්ල පෙත්සම්කරු විසින් අධිකරණයට වසන් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

විගණකාධිපතිවරයා පූර්ණ විමර්ශනයකින් අනතුරුව එම වාර්තාව ඉදිරිපත් කර ඇති අතර, ක්‍රීඩා පනත යටතේ තමන්ට පවරා ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම ක්‍රීඩා ඇමැතිවරයාට එම වාර්තාව පමණක්ම ප්‍රමාණවත් බව ඒ මහතා සඳහන් කළේය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනම් කිරීමට කටයුතු කළ අතර, පෙත්සම්කරු විසින් යවන ලද ලිපි තුනක් මඟින් ඊට බල කර තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එම ලිපි අධිකරණයට ඉදිරිපත් කළේ විපක්ෂ නායකවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයා විසින් මාධ්‍ය මඟින් එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව බවද එතෙක් එම ලිපි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු කටයුතු නොකළ බව ද ඒ මහතා සඳහන් කළේය. මේ කරුණු සැලකිල්ලට ගෙන පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ වගඋත්තරකාර අතුරු පාලක කමිටුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බවය. එම කරුණු මාධ්‍ය සඳහා ඉදිරිපත් කිරීමක් බවට පෙන්වා දුන් ඒ මහතා පෙත්සම්කරුගේ කරුණු ඉදිරිපත් කිරීම මුළුමනින්ම නීතිමය කරුණු මත පදනම් වී ඇති බව ඒ මහතා කීය.

මෙහිදී තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කළේය. ක්‍රීඩා පනතේ ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා ඇමැතිවරයාට යම් ආයතනයක ලියාපදිංචිය අත්හිටුවීමට බලය ඇති බව ඒ මහතා කීය. එම බලය මෙහිදී ඇමැතිවරයා අත්තනෝමතික ලෙස භාවිත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

අතුරු පාලක කමිටුව පත් කිරීම සහ යම් යම් කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම, පියවර ගැනීම, සම්බන්ධයෙන් අතුරු පාලක කමිටුවට පැවරීම එකම ගැසට් නිවේදනයක් මඟින් කර ඇති බව ඒ මහතා කීය. එය ක්‍රීඩා පනතට පටහැණි බව ඔහු පෙන්වා දුන්නේය. පළමුව අදාළ කමිටුව පත් කර අනතුරුව විමර්ශන සඳහා බලය පැවරීම කළ යුතු බව ඒ මහතා කීය. ඇමැතිවරයා එම කටයුත්ත මුලදීම සිදු කර ඇති බව ඒ මහතා කීය. ෂම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණුවලට අදාළව නීතිඥ චන්දක ජයසුන්දර මහතා කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එම නීතිඥවරු සහ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළහ.

ෂම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම අවසන් කර එහි තීන්දුව මුලින් දෙන ලෙස ඔවූහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

කරුණු සලකා බැලූ අධිකරණය මුල් පෙත්සම නැවත කැඳවීම අද (28) සිදු කිරීමට තීරණය කළේය.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ, අමාත්‍යාංශ ලේකම්වරයා, නව අතුරු කමිටු සාමාජිකයන් වන විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්.අයි. ඉමාම්, රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, එච්. කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ, එම්. එච්. ජමාල්ඩීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන් ද අතිරේක සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතුරු පාලක කමිටුව වෙනුවෙන් ද පෙනී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT