Thursday, May 15, 2025
Home » මතට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයට නව වැඩපිළිවෙලක්

මතට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනයට නව වැඩපිළිවෙලක්

by chanaka
November 29, 2023 8:41 am 0 comment

මතට ඇබ්බැහිවුවන්ට ඉදිරියේදී සිය කැමැත්ත පරිදි පොලිසි හා රෝහල් හරහා පුනරුත්ථාපනය සදහා යොමු වීමේ අවස්ථාව ලබා දෙන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පොලොන්නරුව කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කටයුතු සොයා බැලීම සදහා ඊයේ(28) පැමිණි අතර එහිදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව ඇති පුද්ගලයින්ට හා ඔවුන්ගේ ඥාතීන්ට පුනරුත්ථාපන වැඩ පිළිවෙළ පිළිබදව නිසි අවබෝධයක් නොමැති නිසා ඔවුන් මෙම වැඩ පිළිවෙළ සදහා යොමු වන්නේ නැහැ. ඒ නිසා රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සදහා මේ වන විට යොමු කරවන්නේ අධිකරණයෙන් පමණයි. එහෙත් මතට ඇබ්බැහිවන්ගේ හෝ ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත පරිදි පොලීසි හා රෝහල් මාර්ගයෙන් පුනරුත්ථාපනය සදහා යොමු වීමට අවශ්‍ය නීති සකස් කරනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය සදහා වැඩි සංඛ්‍යාවක් මතට ඇබ්බැහිවුවන් යොමු කරවීම තුළින් බන්ධනාගාර තුළ පවතින තදබදය අඩු කර ගත හැකියි. විශේෂයෙන් පුනරුත්ථාපනය වන කාලය තුළ ලබා දෙන පුහුණුවීම් තුළින් ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කර ගත හැකි බව ද අමාත්‍යතුමා පැවසීය.

මේ වන විට මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරත්ථාපන කිරීමේ මධ්‍යස්ථාන තුනක් කන්දකාඩු, සේනපුර හා වව්නියාව ප්‍රදේශවල ස්ථාපිත කර තිබේ. වයස අවුරුදු 18 ත් 20 ත් අතර පුද්ගලයින් වව්නියාව මධ්‍යස්ථානය තුළත්, අවුරුදු 22 සිට 36 දක්වා පුද්ගලයින් කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ හා වයස අවුරුදු 36 ට වඩා වැඩි පුද්ගලයින් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුනර්ථාපන ක්‍රියාවලිය සදහා යොමු කර ඇත.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සදහා යොමුවන කාලය තුළ ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සදහා වැඩ සටහන් මෙන්ම විවිධ පුහුණුවීම් සදහා යොමු කරලීම සිදු කරනු ලබයි. එම කාලය තුළ ආපදා කළමණාකරණය, ප්‍රථමාධාර,ජීවිතාරක්ෂක, පරිසර ආරක්ෂණය , වෘත්තිය පුහුණු අවස්ථාවන් වැනි විවිධ පාඨමාලාවන් හැදෑරීමේ පහසුකම් සපයා ඇති අතර, පුහුණුවීම් අවසානයේ සහතික පත්‍ර ලබාදීම සිදු වේ.

මේ වන විට මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සදහා වැඩ කටයුතු වව්නියාව මධ්‍යස්ථානය තුළ සැලසුම් කර ඇත. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුද්ගලයින් 520 දෙනෙකු පුනරුත්ථාපනය වන අතර ඉන් වැඩිම සංඛ්‍යාව පුද්ගලයින් 232 ගම්පහ දිස්ත්‍රික්කයෙන් යොමු කර තිබේ.

මෙරට පැවති යුද්ධය හේතුවෙන් ආරක්ෂ හමුදා වෙත භාර වු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කිරීම සදහා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආරම්භ කළ අතර පසුව එම ආයතන මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබිණි.

2013 වසරේ සිට මේ දක්වා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළින් 9120 දෙනෙකු පුනරුත්ථාපනය කර තිබේ.

මේ අතර අධිකරණ අමාත්‍යතුමා පොලොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ කටයුතු නිරීතක්ෂණය කිරීමට ද එක් විය. එම බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, වෘත්තිය පුහුණු කටයුතු නිරීක්ෂණය කළ අධිකරණ අමාත්‍යතුමා විශේෂිත අංශයේ රදවා සිටින සිරකරුවන්ගේ තොරතුරු පිළිබදව සාකච්ඡා කරන ලදී.

පොලොන්නරුව බන්ධනාගාරයේ විශේෂිත අංශයේ සිරකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම අංශයේ රදවා සිටින සියලුම සිරකරුවන්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දෙන ලදී.

පොලොන්නරුව බන්ධනාගාර තුළ රැදවියන් 175 දෙනෙකු සදහා ප්‍රමාණවත් පහසුකම් පැවතිය ද මේ වන විට 315 දෙනෙකු රදවා සිටින බව අනාවරණය විය.

මහාචාර්ය අති පුජ්‍ය පාතේගම ඥාණිස්සර නායක ස්වාමීන් වහන්සේ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි යන මහත්වරුන්ද මෙම අවස්ථාවන් සදහා එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT