Home » පුනර්ජීවනය උදාවීමේ ඉතිහාසය ඇසුරේ ඕල්කොට්තුමා කියවමු

පුනර්ජීවනය උදාවීමේ ඉතිහාසය ඇසුරේ ඕල්කොට්තුමා කියවමු

by mahesh
November 29, 2023 1:00 am 0 comment

පාණදුරාවාදය කියැවීමෙන් වසර දෙකකට පමණ පසුව 1875දී ඕල්කොට්තුමා විසින් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට ලියමනක් එවමින් තමා ඇතුළු පරම විඥානාර්ථවාදීන් කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ බුදුදහම ද ප්‍රචාරය කිරීමට සතුටින් කැමතිව සිටින බව දන්වා එවා තිබේ. ඕල්කොට්ගේ ලියමනට වහා පිළිතුරු යැවීමෙන් එකල පැවති යටත්විජිතවාදී බල ආධිපත්‍යයට මුහුණදීමේදී ඕල්කොට්තුමාගේ මෙහෙය ලබාගත හැකි වග ගුණානන්ද හිමියනට පසක් වී තිබේ.  

ශ්‍රී ලාංකික ජන සමාජයේ නොයෙක් අංශයන්හි සාධනීය සේවාවක් ඉටු කළ හෙන්රි ස්ටීල් ඕල්කොට් 1832 අගෝස්තු මස 02 දින උපත ලබා තිබුණේ අමෙරිකාවේ ඔරෙන්ජිහිදීය. පුවත්පත් උප කතුවරයකු, ලේඛකයකු මෙන්ම විවිධ විෂයය උගත් කෘෂිකර්මයේ ද දැනුම පළපුරුද්ද පැවැති ඔහු ආධ්‍යාත්මික කාරණා ගැන දැඩි ලෙස උනන්දු වූවෙකි. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් හා දාවිත් සිල්වා දේවගැති තැන අතර වූ පාණදුරාවාදයේ ඉංග්‍රීසි පිටපත කියැවීම නිසා ඕල්කොට්තුමාට සිරිලකට පැමිණීමට කරුණු යෙදුණු බව සඳහන් කළ හැකිය. පාණදුරාවාදය කියැවීමෙන් වසර දෙකකට පමණ පසුව 1875දී ඕල්කොට්තුමා විසින් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට ලියමනක් එවමින් තමා ඇතුළු පරම විඥානාර්ථවාදීන් කිහිපදෙනකු ශ්‍රී ලංකාවේ බුදු දහම ප්‍රචාරය කිරීමට සතුටින් කැමතිව සිටින බව දන්වා එවා තිබේ. ඕල්කොට්ගේ ලියමනට වහා පිළිතුරු යැවීමෙන් එකල පැවති යටත්විජිතවාදී බල ආධිපත්‍යයට මුහුණදීමේදී ඕල්කොට්තුමාගේ මෙහෙය ලබා ගත හැකි වග ගුණානන්ද හිමියනට පසක් වී තිබේ. ඕල්කොට්තුමා ඇතුළු පරමවිඥානාර්ථවාදීන් රැගත් බ්‍රිතාන්‍ය ඉන්දියා දුම් නැව 1880-05-16 දා කොළඹ වරායට සේන්දු විය. මඳ වේලාවකට පසු ගුණානන්ද හිමියන් උන්වහන­්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිප නමක් හා ජේ. රොබට් ද සිල්වා විශාල බෝට්ටුවකින් නැව් බඳ අසලට ළඟා වූහ. ගුණානන්ද හිමියන් විශේෂ සුහද බවකින් තමන් පිළිගත් බව පවසන ඕල්කොට්තුමා පිළිගැනීමේ උත්සවය සංවිධානය කොට ඇත්තේ ගාලු නගරයේ නිසා නැවෙන්ම එහි යන ලෙසත් එහිමියන් ගොඩින් ගාල්ලට පැමිණෙන බවත් තම පිරිසට දැනුම් දුන් වග ඕල්කොට්තුමාගේ දින පොතෙහි සඳහන් කර ඇත.

මිෂනාරි බලය

1880.05.17 දින ඕල්කොට් ප්‍රධාන පිරිස ගාලු වරායට පැමිණියහ. ගාල්ල, මිනුවන්ගොඩ පරමානන්ද විහාරයේ වැඩ විසූ බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස නාහිමියෝ මීට පූර්ණ සහාය ලබාදී ඇත. වස්කඩුවේ ශ්‍රී සුභූති, රන්දොඹේ ධම්මාලංකාර, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිවරු මේ කටයුතුවලට සම්බන්ධවී ඇත. ඩේවිඩ් හේවාවිතාරණ (පසුව අනගාරික ධර්මපාලතුමා) ඕල්කොට් දෙසුම් සිංහලට පරිවර්තනය කර තිබේ. වසර කීපයක සිදුවූ සිදුවීම් ගණනාවක් නිසා කෙමෙන් මිෂනාරි බලයට අභියෝග කරමින් බුදු සසුන බුදු දහම මෙන්ම බෞද්ධ අධ්‍යාපනය පුනර්ජීවය ලබන්නට විය. ආගම සහ අධ්‍යාපනය වෙන්කොට ලෞකික රාජ්‍යයක් සකසා ගත යුතු යැයි කලෙක පටන් අප රටේ ද වාද විවාද ඇතිවේ. ඒ අතරතුර විශ්වවිද්‍යාලවලට කෝටි ගණන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදී මෘදු කුසලතා දියුණු කළ යුතු යැයි ව්‍යාපෘති දියත්කොට ඇත. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි සතර බඹ විහරණ හිරිඔත්තප්ප බඳු නරක සිදුකිරීමේ ලැජ්ජා භය ඇති කරන දේවධර්ම නම් වූ ලෝකපාලක ධර්ම නැවත කියාදීමට අවශ්‍ය වී ඇත. බුදු දහමින් මෙබඳු බොහෝ සාරධර්ම හා ධර්මතා උපුටා ගැනේ. කිතුනු දහමින් ප්‍රේමය ද, ඉස්ලාම් දහමින් සහෝදරත්වය ද, ධර්ම, අර්ථ, කාම, මෝක්ෂ ආදිය හින්දු ආගමෙන් ද ලොව පතළ විය. ශ්‍රී සත්‍යසායි, සත්‍ය, ධර්ම, ශාන්ති, ප්‍රේම, අහිංසා නව මානව ගුණධර්ම පහක් සෑම ජාතියක්, ආගමක් නොබෙදා අනුකලනය කොට දියුණු අධ්‍යාපනික, සමාජ, සංස්කෘතික වැඩසටහනක් පුරුදු කළේය. ඉදානීන්තනයේ (වර්තමානයේ) ඕල්කට් බුදු දහම, ජනප්‍රිය බුදු දහම, මධ්‍යම පන්තික බුදු දහම, සිංහල බුදු දහම, දෙමළ බුදු දහම ආදී සංකල්ප ජනගතකොට ඇත. වර්තමානයේ ඇතැම් ගිහි පැවිදි පාර්ශ්ව යූ ටියුබ්, ටික් ටොක් ආදී නව මාධ්‍ය‍ෙයන් කර ඇති බුදු සසුනේ විනාශය ඕල්කොට්තුමා වෙතින් සිදු වූයේ නැත. ඕල්කොට්තුමා හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගෙන් උපදෙස් ලබමින් ලියන ලද බෞද්ධ කථොපකථනය ඉංග්‍රීසි සහ සිංහල පොත 42 වරක් සංස්කරණය කර ඇත. කථොපකථනය යනු ප්‍රශ්න සහ පිළිතුරුය. නාගසේන හිමියන් සහ මිළිඳු රජු අතර වූ සංවාදය වැන්නකි. කථොපකථනයේ බුදු දහම අරබයා ප්‍රශ්න 380ක් සහ පිළිතුරු ඇතුළත්ය. එකල එම ඉංග්‍රීසි පොත එඩ්වින් ආනෝල්ඩ් පඬිවරයා ලියූ ආසියාවේ ආලෝකය ඉංග්‍රීසි පොත මෙන් ලොවෙහි පතළ විය. වල්පොල රාහුල හිමියන් ඉංග්‍රීසියෙන් ලියූ සිංහලයෙන් තව විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ බුදුන් වදාළ ධර්මය පොත ද එසේ ලෝක ප්‍රසිද්ධ වූ පොතකි.

වෙසක් නිවාඩුව

1883 කතෝලිකයන් හා බෞද්ධයන් අතර ඇති කළ කොටහේනේ කැරැල්ල නිසා විනාශයක් සිදු විය. එහිදී බ්‍රිතාන්‍ය යටත් විජිතයේ දෘඪ ග්‍රහණයෙන් මුදා ගැනීමට ඕල්කොට්තුමා මැදිහත් වී තිබේ. 1885 වෙසක් නිවාඩුව ලබා ගැනීමට කළ උත්සාහය බෞද්ධ කොඩියක් නිර්මාණය කර ගැනීමේ මොහොට්ටිවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඇතුළු පිරිසකගේ වෑයමට උපකාර කිරීම, කොළඹ ආනන්ද විද්‍යාලයේ, ගාල්ලේ මහින්ද, කුරුණෑගල මලියදේව, මහනුවර ධර්මරාජ, මාතර රාහුල, සංඝමිත්තා, විශාකා, සුජාතා, මියුසියස් වැනි පිරිමි හා කාන්තා පාසල් බිහිවීමේ පුනර්ජීවනය උදාවීමේ ඉතිහාසය ඇසුරේ ඕල්කොට්තුමාගේ ප්‍රායෝගික හා බුද්ධිමය ක්‍රියාදාමය හේතු වී ඇති බව පැවසිය යුතුය. එදවස සිට මහා ඇගැයීම් මෙන්ම විවේචන ද ඕල්කොට්තුමාගේ කටයුතු ගැන සිදු වී ඇති බව ද කිව යුතුය. එහෙත්, අද කාලයේ සිදු වී ඇති ශාසනික, සාමාජීය, සංස්කෘතික සෝදා පාළුවට ඕල්කොට්තුමා කිසිසේත් වග කිවයුතු නැත. ලංකාවේ මුලින් බෞද්ධ පාසල් බිහි කළේ භික්ෂූන් වහන්සේලාය. දොඩන්දූවේ පියරතන තිස්ස, කරතොට සෝභිත, වැල්තොට විමලසාර තිස්ස හිමිවරුන්ගේ නම් බොහෝ දෙනාට අමතක වී තිබේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ සෑම වසරකම ඕල්කොට් ගුණ සමරුව පවත්වති. මෙවර නොවැම්බර් 25දා මහාචාර්ය බුද්ධිම ඉන්ද්‍රරත්න එම සමරුවේ දෙසුම පවත්වයි. සංවේදී සහනුකම්පනයෙන් යුත් විනය හා නීතිගරුක ප්‍රඥා සම්පන්න ප්‍රජා සමාජයක් අප විසින් බිහි කර ගත යුතුය. කුල මල, වංශ, ගෝත්‍ර, ආගම්, ජාති, පළාත්, වාද, භේද අනන්‍යතා මත කුලල්කා ගෙන යන පිරිහීමේ ගමන දැන්වත් නවතා දැමිය යුතුය. මනුස්සකම පෙරට ගෙන ආ යුතුය.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT