Saturday, May 10, 2025
Home » අනුරාධපුර අධිකරණ මාධ්‍යවේදියාට මරණ තර්ජන

අනුරාධපුර අධිකරණ මාධ්‍යවේදියාට මරණ තර්ජන

දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා දෙන්නැයි සමාගමට නියෝග

by mahesh
November 29, 2023 1:00 am 0 comment

අනුරාධපුර - සංචාරක සනි මධුෂානි

අධිකරණය මගින් වරදකරුවන් කරන පුද්ගලයන්ගේ සහ විවිධ අපරාධ නඩුවලට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් ගම් මාධ්‍ය ඔස්සේ හෙළි කිරීම වහාම නවතා දමන ලෙසට බලපෑම් කරමින් අධිකරණ මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතාට මරණ තර්ජන එල්ල කර දෑත් කපා දමන බවට ද තර්ජනය කිරීමට යොදා ගත් දුරකතන අංකය සම්බන්ධයෙන් සවිස්තරාත්මක දුරකතන විශ්ලේෂණ වාර්තාවක් අනුරාධපුර මූලස්ථාන පොලිසියට නොපමාව ලබා දෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඩයලොග් සමාගමේ කළමනාකාරිත්වයට ඊයේ (28) නියෝග කළේය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රත් නාලක සංජීව ජයසූරිය මහතා ඩයලොග් සමාගමේ කළමනාකාරිත්වයට මෙසේ නියෝග කළේ අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂකවරුන් වන එස්. නන්දසේන සහ කරුණානන්ද වන්නිනායක යන මහත්වරුන් බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනි. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා කියා සිටියේ ඉකුත් 21 වන දින සවස 6.54ට සහ එදිනම රාත්‍රී 7.02ට පමණ යම් කිසි පුද්ගලයෙකු ජංගම දුරකතනයක් ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතාට බැණ මරණ තර්ජනය කර දෑත් කපා දමන බවට ද තර්ජනය කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන ඇරඹූ බවයි.

අදාළ තර්ජනය කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ ඩයලොග් සමාගම මගින් නිකුත් කර ඇති දුරකතන අංකයක් බවද අධිකරණයට කියා සිටි උප පොලිස් පරීක්ෂකවරයා මාධ්‍යවේදී උපාලි ආනන්ද මහතාට මෙම මරණ තර්ජනය එල්ල කර ඇත්තේ අධිකරණ පුවත් වාර්තා කිරීමේදී අධිකරණය හමුවේ පවතින විවිධ නඩුවලින් වැරදිකරුවන් වන සහ විවිධ අපරාධ නඩුවලට අදාළ පුද්ගලයන්ගේ නම් ගම් විස්තර මාධ්‍ය මගින් හෙළි කිරීම වහාම නතර කරන ලෙසට බලපෑම් කරමින් බවද ප්‍රකාශ කළේය.

මෙම මරණ තර්ජනය කිරීම සඳහා යොදා ගත් දුරකතන අංකය ඔස්සේ මූලික විමර්ශන ආරම්භ කිරීමට අවශ්‍ය බැවින් එම දුරකතන අංකයේ ලියාපදිංචි අයිතිකරු අනාවරණ කර ගැනීම සඳහා අදාළ දුරකතන අංකය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් පොලිසියට ලබා දෙන ලෙසට ඩයලොග් සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයිද උප පොලිස් පරීක්ෂක එස්. නන්දසේන මහතා අධිකරණයෙන් අයැද සිටියේය.

උප පොලිස් පරීක්ෂකවරයාගේ කරුණු දැක්වීම් සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඩයලොග් සමාගමේ කළමනාකාරිත්වයට නියෝග කළේ මෙම තර්ජනය කිරීමට යොදා ගත් දුරකතන අංකය සම්බන්ධයෙන් සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් නොපමාව අනුරාධපුර මූලස්ථාන පොලිසියට ලබා දෙන ලෙසයි.

අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) සංජීව මහනාම මහතාගේ උපදෙස් මත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රණවීර මහතාගේ මෙහෙයවීම මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ උප පොලිස් පරික්ෂකවරුන් වන එස් නන්දසේන සහ කරුණානන්ද වන්නිනායක යන මහත්වරු මේ සම්බන්ධයනේ අධිකරණයට කරුණු කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT