සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිරියේදී කොළඹ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා වන ප්‍රදේශය නව ආකාරයට පරිවර්තනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු අතර, එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරයේ කටයුතු කළ යුතු බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරි වසර කීපයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 7.5 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බව පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පසුගිය (27දා) පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් ශ්‍රීලාල් මිත්තපාල සහ හිරාන් කුරේ මහත්වරුන් වෙත යාවජීව සම්මාන දෙකක් පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“මා ආණ්ඩුව භාරගන්නා විට ණය තිරසර බව ඇති කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන බව වැටහුණා. එහිදී අප විදේශ විනිමය උපයාගන්නේ කෙසේද සහ ධනාත්මක වෙළෙඳ ශේෂයක් ඇති කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවධානය යොමු කළා. එහිදී බොහෝ යෝජනා ඉදිරිපත් වුණා. නමුත් මේ සඳහා අපට පහසුවෙන්ම ළඟා විය හැකි මාර්ගය වන්නේ සංචාරක ව්‍යාපාරයයි. ඒ අනුව අප සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කරනවා. ඒ සඳහා දැන් තිබෙන රාමුවෙන් පිටතට යාමට අපට සිදුවෙනවා. එහිදී අප තරගකාරී විය යුතුයි.
ශ්‍රී ලංකා හෝටල් සංගමය අද එහි 58 වන සංවත්සරය සමරනවා. වියට්නාමය වැනි රටවල හෝටල් සංගම් සැලකීමේදී ආරම්භ කළ කාලය වසර 20ක් 30ක් විය හැකියි. නමුත් මෙහිදී පැන නඟින ප්‍රශ්නය වන්නේ ඔවුන්ට අපට වඩා සංචාරකයන් සිටින්නේ කෙසේද යන්නයි.
මේ වසරේ සංචාරකයන් මිලියන 1.5ක් පමණ පැමිණියා. 2021 වසරට සාපේක්ෂව බලන විට මේ තත්ත්වය යහපත් බව පැවසිය හැකියි. නමුත් ලබන වසරේ එය මිලියන 2.5ක් විය යුතුයි. ඒ වගේම වාර්ෂිකව මෙරටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය තවත් වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුයි. දෙවනුව, අප එක් සංචාරකයකුගෙන් කොපමණ මුදලක් උපයනවාද යන්න වගේම එම ප්‍රමාණය වැඩි කරගන්නේ කෙසේද කියා අපගේ අවධානය යොමු කළ යුතුයි. අප අවම ගාස්තු අය කරන යුගයෙන් ඉවත්ව ඉහළට යා යුතුයි. ඒ සඳහා අප විධිමත් සැලස්මක් සකස් කළ යුතුයි.
අපේ ආහාර සංස්කෘතිය දෙස බැලුවොත් එය එක් ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට වෙනස් වෙනවා. ඔබ එය භාවිත කර තිබෙනවා ද? එසේ නම් අප ආහාර සංස්කෘතියේ ඇති ඒ වෙනස සංචාරක ව්‍යාපාරය වෙත ගෙන එමු.
සංචාරක ව්‍යාපාරය අනුරාධපුර යුගය තෙක් ඈතට දිවයන්නක් බව කිව යුතුයි. එක් මෝසම් කාලයක නෞකා මඟින් මෙරටට පැමිණි සංචාරකයාට ඊළඟ මෝසම් සමය එළැඹෙන තුරු මෙරට රැඳී සිටිය යුතු වූවා. ඒ කාලයේ අනුරාධපුරයේ “රතු එළි කලාප” පවා තිබූ බව සඳහන් වෙනවා. මා එය අනුමත නොකළත් අතීතයේ දී ඔවුන් ඔවුන්ගේම ක්‍රමයකට සංචාරක ව්‍යාපාරය ගැන කල්පනා කර තිබෙන බව අප හඳුනාගත යුතුයි.
සංචාරක ව්‍යාපාරයේ හොඳ යතුර ලෙස ආගන්තුක සත්කාරය පෙන්වා දිය හැකියි. ශ්‍රී ලංකාවේ ආහාර පමණක් නොව විදේශීය ආහාර වර්ග ද එහිදී හඳුන්වාදිය හැකියි. මූලිකවම ස්පාඤ්ඤයේ පැයෙල්ලා සිට ජපානයේ සහල් දක්වා වන මුළු සහල් පරාසයම අපගේ ආහාර වට්ටෝරුවලට හඳුන්වා දිය හැකියි. අපට අපේම සංයෝජනයක් වූව ද සිදු කළ හැකියි.
2003-2004 වකවානුවේ අප ආරම්භ කළ බුටික් හෝටල් වෙත අවධානය යොමු කළොත් ඒවා මේ වන විට හොඳින් ක්‍රියාත්මකයි. ඒ වගේම අපට ප්‍රවේශ විය හැකි විවිධ වෙළෙඳ පොළ අවස්ථා තිබෙනවා. අප ගෝල්ෆ් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම අප මෙරට තිබෙන සංචාරක අවස්ථා ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
එසේම කොළඹට පැමිණෙන සංචාරකයන් රඳවා ගැනීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. මේ වන විට කොළඹට පැමිණෙන සංචාරකයන්ට සිදුවන්නේ ගංගාරාම විහාරය, කෞතුකාගාරය සහ නිදහස් චතුරස්‍රය වැනි සීමිත ස්ථාන කීපයක් නරඹා යෑමටයි. අප ඔවුන් කොළඹ රඳවා ගැනීමට නම් නව සැලසුම් සකස් කළ යුතුයි. එම සැලසුම් විනෝදාස්වාදය, සංගීතය හා ආහාර සමඟ සකස් විය යුතුයි.
ඉදිරියේදී කොළඹ ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා වන ප්‍රදේශය නව ආකාරයට පරිවර්තනය වනු ඇති. දැනටමත් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් මහනුවර බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සඳහා අපට යෝජනාවක් ලැබී තියෙනවා. ඒ වගේම කොළඹ, මහනුවර ඇතුළුව රට පුරා මෙතෙක් අවධානයට ලක් නොවූ නමුත් සංචාරක ආකර්ෂණය ලබාගත හැකි බොහෝ ස්ථාන තිබෙනවා. මේ ස්ථාන දියුණු කරන්නේ කෙසේද කියා අපේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
මේ සඳහා අලුත් චින්තනයක් අවශ්‍යයි. පරණ මනසින් අපට ඒ වෙත යාමට නොහැකියි. සෑම විටම අලුතින් සංචාරකයන් මෙරටට ආකර්ෂණය කරවා ගැනීම පිළිබඳ හිතන්න. එවිට අපට මිලියන පහේ ඉලක්කය ජය ගත හැකියි. අවම වශයෙන් ඩොලර් 500ක් හෝ 600ක් වියදම් කරන සංචාරකයන් මිලියන පහක් ඉලක්ක කරන්න. අපට එය කළ හැකියි. ඒ සඳහා අපට සීමාවන් නොතිබිය යුතුයි.” යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශ ලේකම් එච්. එම්. පී. බී. හේරත්, ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති එම්. ශාන්තිකුමාර් මහතා ඇතුළු නිලධාරීන් සහ හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.