Home » කොටවිල සුරාබදු නිලධාරිනියගේ මව-පියා කසිප්පු පෙරා මාට්ටු

කොටවිල සුරාබදු නිලධාරිනියගේ මව-පියා කසිප්පු පෙරා මාට්ටු

පොලිසිය පැන්නේ 21 වැනි වතාවට

by mahesh
November 29, 2023 1:00 am 0 comment

වජිර පූජිත ගුණවර්ධන - තෙලිජ්ජවිල සමූහ

සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින දියණියකගේ මව සහ පියා නීති විරෝධී මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් කොටවිල පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනිණ. දෙණිපිටිය මූණමල්පේ මහතම්බියාවහේනේ පදිංචිව සිටින මෙම මවුපිය යුවළ කාලයක් තිස්සේ නීති විරෝධී මත්පැන් පෙරීමේ…

ජාවාරම කරගෙන යන බවත් ඔවුන්ගේ දියණිය සේවයේ නිරතව සිටින්නේ ද කොටවිල පිහිටි සුරාබදු කාර්යාලයේ බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම යුවළ අවස්ථා 20කදී නීති විරෝධී මත්පැන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවා ඔවුන්ට පවරා ඇති බව පොලිසිය සඳහන් කළේය.

වැලිගම පොලිසියෙන් නඩු දාහතරක් ද මාතර පොලිසියේ නඩු තුනක් ද කොටවිල පොලිසියේ නඩු තුනක් ද තමාට පවරා ඇති බව සුරාබදු කාර්යාලයේ සේවයේ සිටින දියණියගේ පියා පසුගියදා (25) 21 වැනි වතාවට පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබේ. සිය දියණිය සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටින බවත් ඇය 28 හැවිරිදි වියේ පසුවන්නියක බවත් අනාවරණය වී ඇත්තේ ද එහිදීය.

මෙම සැකකරුව පසුගියදා (26) මාතර වැඩ බලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පසුගිය 10 වැනිදා පොලිසිය මෙම සැකකරුගේ නිවෙස පරීක්ෂා කළ අවස්ථාවේදී එහි තිබී නීති විරෝධිව නිෂ්පාදනය කළ මත්පැන් බෝතල් (කසිප්පු) 20ක් සොයාගෙන තිබිණි. නිවෙස ආසන්න කැලෑබද ප්‍රදේශයේ තිබී ගෝඩා මිලි ලීටර 55,500ක් ද හමුවී තිබිණි. ඒ සම්බන්ධයෙන් සැකකරුගේ බිරියව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ නීති විරෝධිව මත්පැන් පෙරීමට යොදාගත් ගෑස් සිලින්ඩර්, ගෑස් ළිප් ඇතුළු උපකරණ සමඟිනි. එහිදී මත්පැන් නිෂ්පාදනයට ඔවුන්ට සහාය දුන් පුද්ගලයකුව ද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. අත්අඩංගුවට ගත් 63 හැවිරිදි කාන්තාවත් 45 හැවිරිදි සැකකරු පොලිස් ඇප මත මුදාහැර පසුගිය 16 වැනිදා මාතර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබිණි. එහිදී සැකකරුවන් වරද පිළි නොගත් බැවින් වැඩිදුර විභාගය 2024 වසරේ පෙබරවාරි 18 වැනිදා දක්වා කල් තැබිණ.

කොටවිල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කොටවිල පොලිස් ස්ථානයේ දූෂණ මර්දන ඒකකයේ උප පොලිස් පරීක්ෂක ආර්. ජයරත්න, අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ උප පොලිස් පරීක්ෂක ඩිලාන් මධුසංඛ, පො.සැ.වරුන් වන (28222) එම්. සමරතුංග, (33956) ආර්. රණසිංහ, පො.කො.වරුන් වන (8242) කේ. සුගීෂ්වර, (59356) නීල් බුද්ධික යන මහත්වරු මෙම වැටලීමට එක් වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT