ලබන වසර තුළ (2024) හෙක්ටයාර 400ක කෝපි වගා කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර ඇත.
මේ සඳහා රුපියල් මිලියන 400ක මුදලක් අය වැය ලේඛනය මඟින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වෙන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
ශ්‍රී ලංකා කෝපි සම්බන්ධව විදේශ වෙළෙඳ පොළේ ඇති ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් කෝපි වගාව නැවතත් වැවිලි භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, කෝපි වගාවට යොමු වන ගොවීන්ට හෙක්ටයාර එකකට රුපියල් මිලියනයක මුදලක් දීමට තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. කෝපි වගාව සඳහා උනන්දුවක් දක්වන ගොවීන් ඊට යොමු කර ගැනීමට පියවර ගන්නා ලෙස තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද ඇමැතිවරයා කියයි.
ශ්‍රී ලංකාව කෝපි වගාව සඳහා විශාල ප්‍රසිද්ධියක් උසුලන අතර, Coffee Arabica (අරාබිකා කෝපි), Coffee Canephora (රොබස්ටා කෝපි), Libarica (ලයිබරිකා කෝපි) යන විශේෂ අප රටේ වගා කරනු ලබයි. මේ අතුරින් අරාබිකා කෝපි ඉතාමත් ජනප්‍රියම කෝපි විශේෂය වන අතර, එම කෝපි වගාව සඳහා ප්‍රමුඛත්වය දීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
අරාබිකා කෝපි විශේෂයට අයත් නව ප්‍රභේද කිහිපයක් මේ වන විට වගාකරුවන්ට හඳුන්වා දී ඇත. ඒවා නම් HTD, S09, කැටිමූර්, ලක්පැරකුම්, ලක් සවිරු සහ ලක් කොමලී ලෙස හඳුන්වයි. මෙම ප්‍රභේද වැඩිම අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද වේ. මීට අමතරව රොබස්ටා කෝපි විශේෂයට අයත් දේශීය විශේෂ කිහිපයක් වන IMY, S274, GCR, CCI, ලංකා චන්ද්‍ර, ලංකා බිම්සර සහ ලංකා ඉසුරු යන ප්‍රභේදයන් හඳුන්වා දී තිබේ.