රටක් ලෙස වැටුණු තැනින් ඉදිරියට පැමිණ තිබුණ ද තවම රට හමුවේ ඇති අභියෝග සහ ගමන අවසන් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අපේක්ෂිත අරමුණ ඉටුකර ගැනීමට නම් සියලුදෙනා එක්ව ඉතා ඉවසීමෙන් යුතුව ඉදිරියට යා යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. දේශපාලන ප්‍රතිපත්තිමාලා වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ “රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය හා මූලික යුතුකම්” අනුව ක්‍රියා කිරීමට වත්මන් රජය සෑමවිටම කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවති 2023 සණස ජාතික සම්මේලනය අමතමිනි.
සණස නිර්මාතෘ ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් මත “ වැය අඩු කරමු – අය වැඩි කරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක සණස සමිති 1250ක් සංවර්ධනය කිරීමෙන් ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට අදාළ තුන් අවුරුදු ඉදිරි සැලසුම එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.
ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතා විසින් එම තුන් අවුරුදු සැලැස්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය. ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් ද මෙහිදී පිළිගැන්විණි.
එසේම දිස්ත්‍රික්ක 25ක් ආවරණය කරමින් සණස නායකයන් 5,000ක් වෙත සැලසුම් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර මේ සැලසුමෙන් ගම්මාන 5,000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ආරම්භ කිරීමටත් ඒ හරහා දිවයින පුරා ඝෘජු හෝ වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් සැලසුම් කර තිබේ.
මේ වැඩසටහන යටතේ පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මෙරට ආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාරවල දායකත්වය මනා රුකුලක් වනු ඇති බව පැවසීය.
ජන ජීවිතය නඟාසිටුවීමටත් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට රජය ගෙන යන වැඩපිළිවෙළට එක්වන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටියේය.
සණස ව්‍යාපාරය ආරම්භ කිරීම පිළිබඳ අප කිරිවන්දෙණිය මහතාට ස්තුතිවන්ත විය යුතුයි. එතුමා එය ආරම්භ කර ඉදිරියට ගෙන ගියා. අද එය ඉතා සාර්ථක ව්‍යාපාරයක්. ඒ වගේම මේ ව්‍යාපාරය තවත් දියුණු කළ යුතුයි.මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළේදී සණස වැනි ව්‍යාපාර එක් කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි.
මේ දෙසැම්බර් මාසය අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේ රට නැවත ණය පාලනය කළ හැකි ස්ථාවරත්වයට පැමිණ තිබෙන බව ප්‍රකාශ කරනතුරු අප බලා සිටිනවා. අපට එම සහතිකය ලැබූ පමණින් සියලු ගැටලු විසඳෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ණය ගෙවීමට සහන පොලියක් ඉල්ලා සිටීමටයි. ඉන් පසුව එම ණය ගෙවිය යුතුයි. අපට අලුතින් ණය ගැනීමටත් සිදු වෙනවා.
මේ කටයුතු කරගෙන යෑමට අප රටේ ශක්තිමත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. එහිදී අපනයන ආර්ථිකය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ වැඩකටයුතු සඳහා සණස ව්‍යාපාරය සම්බන්ධ වීම විශාල රුකුලක් ලෙස සලකනවා.
අපි ආණ්ඩුව භාර ගැනීමෙන් පසු දේශපාලන ප්‍රතිපත්තිමාලා වෙනුවට සෑමවිටම ක්‍රියා කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය, මූලික කරගෙනයි.
රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාවලියෙන් ශීඝ්‍ර ලෙස මුළු රටම සංවර්ධනය කිරීම සණස ව්‍යාපාරයේ වගේම රජයේ ද අරමුණයි. මොකද අපට මේ ණය උගුලෙන් බේරීමට නම් අප ශීඝ්‍ර සංවර්ධනයකට යා යුතුයි.
ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබා දීමටයි. මේ රටේ සිදුවූ ආර්ථික කඩා වැටීමෙන් පසු බොහෝ දෙනෙක්ගේ ජීවන මාර්ග අහිමි වුණා. ඇතැම් ව්‍යාපාර වසා දැමීමට සිදු වුණා. එදා සියලු දෙනා අසීරුවෙන් ජීවත් වුණේ.
දැන් අප යළිත් ආර්ථික දියුණුව ලබමින් සිටිනවා. කෘෂිකාර්මික කටයුතු ආරම්භ කර තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් වැඩි රැකියා අවස්ථා ලබා ගත හැකියි. ඒ නිසා අප සියලු දෙනා එකතු වෙලා මේ ක්ෂේත්‍ර දියුණු කළ යුතුයි.
ඒ වගේම රටේ සෑම පුරවැසියකුටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ප්‍රමාණවත් ජීවන මට්ටමක් ලබා දීමට අප කටයුතු කළ යුතුයි. අපි සියලු දෙනා එකට එක්ව ඉතා ඉවසීමෙන් එම ගමන යා යුතුයි.
අපේ රට එදා මධ්‍යම පන්තියේ ආදායම් ලබන රටක් ලෙස පැවතුණා. නමුත් අප නැවත අඩු ආදායම්ලාභී රටක් බවට පත්ව තිබෙනවා. දැන් අපේ උත්සාහය නැවත පහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත් වීමටයි. ඊළඟ අදියරේදී ඉහළ මධ්‍යම පන්තියේ ආදායම් තිබෙන රටක් බවට පත් විය යුතුයි. අනතුරුව ඉහළ ආදායම් ඇති රටක් බවට පත් වීමට හැකියි. ඒ සඳහා තමයි 2048 වන තෙක් සැලසුම් සකස් කර තිබෙන්නේ.
ඒ වගේම අපේ රටේ අධ්‍යාපන අවස්ථා සීමාසහිතයි. ඒ නිසා බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සඳහා විදේශගත වෙනවා. වෘත්තීය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තිබුණට ඒ සියල්ල ලබා දීමට අපට අවස්ථාවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය ප්‍රතිසංවිධාන කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
ඒ වගේම 2030 වන විට ඉංග්‍රීසි භාෂාව පාසල් අධ්‍යාපනයට සහ උසස් අධ්‍යාපනයට එක් කිරීමට වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම මේ වසරේදී ආරම්භ කරනවා.
එසේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අපි ආරම්භ කරනවා. ඊට දායක වීමට සණස වැනි ආයතනවලට පුළුල් ඉඩ ප්‍රස්ථාවක් පවතිනවා. එම නිසා මේ කටයුතු සමඟ එක්ව වැඩ කරමු කියලා මම සියලු දෙනාට ආරාධනා කරනවා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා –
සණස ව්‍යාපාරය ගැන අප දීර්ඝ කාලයක සිට දන්නවා. එහි ආරම්භය පිළිබඳව එහි නිර්මාතෘ කිරිවන්දෙණිය මහතා විස්තර සහිතව පැහැදිලි කළා. එම කතාව මේ රටට වැදගත්. සණස ව්‍යාපාරය සාර්ථක වෙන්න හේතුව තමයි එය වංචාව, සොරකම, දූෂණය, නාස්තිය නැති ව්‍යාපාරයක් වීම.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා –
බිම් මට්ටමේ ජන ප්‍රජාව මුල්කර ගත් ජනතාවාදී, ජනහිතකාමී සණස ව්‍යාපාරය ප්‍රජා සංවර්ධනයේ යෝධ පියවරක් අද තබනවා. එමෙන්ම මේ ව්‍යාපාරය චිරාත් කාලයක් වැජඹේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට ආර්ථිකය, පුද්ගලයා, ව්‍යාපාර ශක්තිමත් කරන්න ඕනෑ.
සණස නිර්මාතෘ ආචාර්ය පී .ඒ. කිරිවන්දෙණිය මහතා –
නව තාක්ෂණය සමඟ එක්වෙමින් රටේ ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවන්නේ කෙසේද යන්න පිළිබඳව අපගේ අවධානය යොමු වී තිබෙනවා. කොවිඩ් වසංගතය ඇතුළු අර්බුද හමුවේ පසුගිය වසර කීපයේ මන්දගාමී වූ කටයුතු මේ වසරේ නැවත ආරම්භ කරනවා. ඒ සඳහා තුන් අවුරුදු සැලැස්ම අද ඉදිරිපත් කරනවා. වසර තුනෙන් තුනට වසර දහයක සැලසුම් ඉදිරිපත් කරමින් ඉලක්කගත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ග්‍රාමීය තරුණ ප්‍රජාව රටේ සංවර්ධනයට හවුල් කර ගැනීම මෙහි මූලික අරමුණයි. පන්ති, සම්මන්ත්‍රණවලින් තමන්ගේ ආදායමට සරිලන ජීවන ක්‍රමයක් ඇති කර ගැනීමට තරුණ පරපුර දැනුම්වත් කිරීමේ වැඩසටහන් අප ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙනවා. “වැය අඩු කරමු – අය වැඩි කරමු” තේමාව යටතේ ජයග්‍රාහි අනාගතයක් ඔවුන්ට හිමි කරදීම අපගේ අරමුණයි.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ පණිවිඩයද මෙහිදී ඉදිරිපත් කෙරිණි. නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, හිටපු කථානායක චමල් රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ පිරිසක් සහ සියලු පළාත් නියෝජනය කරමින් පැමිණි සණස සමිති නායකයන් සහ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.