Thursday, May 15, 2025
Home » ලෙජන්ඩ්ස් ලීග් පිටියේ තිසරලා පෙරමුණේ

ලෙජන්ඩ්ස් ලීග් පිටියේ තිසරලා පෙරමුණේ

තරංගලාගේ සදර්න් පිලට පළමු ජය

by mahesh
November 29, 2023 1:00 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග 9ක් නිමා වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට තිසර පෙරේරා සහ ඇන්ජලෝ පෙරේරා ක්‍රීඩා කරන මනිපාල් ටයිගර්ස් පිල සමත්ව සිටී.

කණ්ඩායම් 6ක් එක්ව සිටින මේ තරගාවලියේ ඔවුන් ක්‍රීඩා කළ තරග 3න් දෙකක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 4ක් හිමි කර ගෙන ඇති අතර, චාමර කපුගෙදර ක්‍රීඩා කරන යුබර්න්රයිසර්ස් හයිද්‍රාබාද් සහ සීක්කුගේ ප්‍රසන්න ක්‍රීඩා කරන ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම් ද තරග දෙක බැගින් ජය ගෙන ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියයි. එම කණ්ඩායම් දෙක පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවන අතර, ඉසුරු උදාන සහ දිල්හාර ප්‍රනාන්දු එක්ව සිටින ඉන්දියා කැපිටල්ස් 5 වැනි තැනට පත්ව ඇත්තේ එක් ජයක් සහ පරාජයන් දෙකක් සමඟිනි.

වැඩිම ශ්‍රී ලාංකික පිරිසක් එක්ව සිටින සදර්න් සුපර්ස්ටාර්ස් පිල 6 වැනි තැන පසුවන අතර, ඔවුන් පෙරේදා සිය පළමු ජය වාර්තා කළේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මනිපාල් ටයිගර්ස් පිලට පළමු පරාජය අත් කර දෙමිනි. මේ කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් උපුල් තරංග සමඟ ඩිල්ෂාන් මුණවීර, ෆර්වේස් මහරූෆ්, අමිල අපෝන්සු, සුරංග ලක්මාල් සහ චතුරංග ද සිල්වා ක්‍රීඩා කරති.

මේ තරගයේදී මනිපාල් පිල ලකුණු 124ක් රැස් කළ අතර, පන්දුවක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත් සදර්න් පිලට අහිමි වූයේ කඩුලු 5ක් පමණි.

සදර්න් පිල වෙනුවෙන් උපුල් තරංග ලකුණු 30ක් රැස් කළ අතර, චතුරංග ද සිල්වා ලකුණු 2කට දැවී ගියේය. මනිපාල් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ඇන්ජලෝ පෙරේරා නොදැවී ලකුණු 47ක් රැස් කළේ පන්දු 34කදී හතරේ සහ හයේ පහර 2 බැගින් එල්ල කරමිනි. තිසර පෙරේරාට රැස් කළ හැකි වූයේ ලකුණු 13ක් පමණි.

ඊයේ මේ තරගාවලියට විවේක දිනයක් වූ අතර, අද (29) තිලකරත්න ඩිල්ෂාන් සහ ධම්මික ප්‍රසාද් ක්‍රීඩා කරන භිල්වාරා කිංග්ස් සහ සදර්න් සුපර්ස්ටාර්ස් අතර තරගය පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT