මෙරට පොල් අපනයනයෙන් ලබන ආදායම ඩොලර් බිලියන 02ක් දක්වා ඉහළ නැංවීම ඉළක්ක කරමින් පස් අවුරුදු ක්‍රියාකාරි සැලැස්මක් සකසන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින්ට ඊයේ (29) උපදෙස් දුන්නේය.
මෙම පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ සඳහා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ මණ්ඩලය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය ඇතුළු සියලු අංශවල දායකත්වය මත ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අප රටේ පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් තිබුනත් තවමත් මෙරට සමස්ත පොල් නිෂ්පාදනයෙන් සියයට 75ක් යොදා ගනු ලබන්නේ දේශීය පරිභෝජනය සඳහාය. ඉතිරි සියයට 25ක ප්‍රමාණය අපනයනය කළ ද දේශීය වශයෙන් පොල් හිඟ වන අවස්ථාවන් හි දී අපනයන කටයුතු අඩාල වේ.
මේ නිසා ජාත්‍යන්තර වෙළෙඳ පළේ අප රට සතු ඉල්ලුම වෙනත් රටවලට ඇදී යනු ලබයි. මෙම තත්ත්වය වළක්වාලීමට නම් රටේ පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම දේශීය වශයෙන් පොල් පාරිභෝජන රටාව වෙනස් කළ යුතුය.
විශේෂයෙන් දේශීය පොල් පාරිභෝජනයේ දී දෛනිකව පොල්වලින් විශාල ප්‍රමාණයක් අපතේ යන බව ද අවධාරණය විය.
ඊයේ (29) පස්වරුවේ පොල් සංවර්ධන අධිකාරියේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඊට අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් ද සහභාගි වූහ.
දැනට අප රටේ වාර්ෂික නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 3000කට ආසන්නය. ඉන් සියයට 75ක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. මේ නිසා පොල් වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා පොල් වගාවට පොහොර යෙදීම සඳහා ගොවීන් පෙළඹවීම අත්‍යවශ්‍ය බව ද මෙහිදී අවදාරණය විය. දැනට ගොවීන් පොල් වගාවට පොහොර යෙදීමට පියවර නොගැනීම අස්වනු අඩු වීමට හේතු වී තිබේ. එමනිසා විදිමත් ව වගා කිරීම සඳහා අවශ්‍ය පියවර යෝජනා කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම මෙරට පොල් වගාව ඉහළ නැංවීම මෙන්ම පොල් හා පොල් ආශ්රිත නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් වහාම තමන්ට ඉදිරිපත් කරන්නැයි ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.