Home » ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සදහා යෝජනාවක්

ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සදහා යෝජනාවක්

by chanaka
November 30, 2023 4:30 pm 0 comment

රජයේ පාසල්, පළාත් පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන සියල්ලටම පොදුවන අයුරින් ජාතික අධ්‍යාපන-අනධ්‍යයන සේවක ප්‍රතිපත්තියක් සකස් කිරීමට යෝජනා කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු අධ්‍යයන හා අනධයයන කාර්යමණ්ඩලවල සේවක මාරුවීම්, සේවක වැටුප්, නිවාඩු ගැන්වීම්, විනය පරීක්ෂණ ඇතුළු සියලු‍ කාර්යයන් එම ප්‍රතිපත්තිය සඳහා පාදක කරගනු ලබන පොදු සේවා ව්‍යවස්ථාවක් මගින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

පසුගිය දා කොළඹ, මහජන ප්‍රස්තකාල ශ්‍රවණාගාරයේ දී අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අධ්‍යාපන-අනධ්‍යයන සේවක සංගමය විසින් සංවිධානය කළ අධ්‍යාපන අනධ්‍යයන සේවක දින සැමරුමට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

අධ්‍යයන සහ අනධ්‍යයන සේවකයින් වෙනුවෙන් දිවයිනේ පළාත් නවයේ ම මාරු මණ්ඩල ක්‍රියාත්මක වන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ද මාරු මණ්ඩලයක් ක්‍රියාවට නැංවෙන බවත්, සේවක මාරුවීම්, නිවාඩු ගැන්වීම් විනය පරීක්ෂණ ආදියෙහි ඒකමතිකභාවයක් පවත්වාගත යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ‍ඒ සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ඒ අනුව හැකිවනු ඇති බව ද පෙන්වා දුන්නේය.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙරට දැනට ක්‍රියාවට නැංවෙන 10,126ක් වන සියලු‍ ම පාසල් පර්ෂද 1200කට ආසන්න සංඛ්‍යාවකට බෙදා භෞතික හා මානව සම්පත් කළමනාකරණය පහසු කිරීමට අපේක්ෂා කරන බව ද පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන ආයතන සියල්ලම ඒ හා සමගාමී ව වඩාත් ඵලදායී, ගුණාත්මක සහ කාර්යක්ෂම සේවාවක් ලබාගත හැකි අයුරින් ප්‍රතිව්‍යූහගත කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමාට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට ඇති කාලයට වඩා වැඩි කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටළු විසඳීම වෙනුවෙන් ගත කිරීමට සිදුව ඇති බවත්, බොහෝ ගැටළු පළාත් මට්ටමින් විසඳාගැනීමට පසුබිමක් ඇති බවත්, ඒ වෙනුවෙන් පසුගිය දා සියලු‍ පළාත් බලධාරීන් හා ආණ්ඩුකාරවරුන් සමග තමා සාකච්ඡා කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව ඉදිරියේ දී අධ්‍යයන සහ අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තීය ගැටළු තම පළාත තුළදී ම වඩාත් පහසුවෙන් විසඳා ගැනීමට හැකිවනු ඇති බව ද ප්‍රකාශ කළේ ය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT