Home » බැලු බැලු අතේ බාල ය

බැලු බැලු අතේ බාල ය

by gayan
November 30, 2023 1:00 am 0 comment

කොළඹ පිහිටි රාජ්‍ය ඔසුසල් පරිශ්‍රයේදී නවීකරණය කොට සංවර්ධනය කරන ලද නව ඖෂධ තත්ත්ව රසායනාගාරය ඊයේ ඇමැති රමේෂ් පතිරණ විසින් විවෘත කරනු ලැබීය. මේ වනාහි කන්න අඳින්න නැති වුවද කළ යුතු වැඩකි. මේ රටේ බාල බෙහෙත් සඳහා තරම් ‘බාල’ යන විශේෂණය අන් කවරකටවත් භාවිත වන්නේ නැත. බාල කාලයේ සිට යමකු ‘බාල’ යන වචනය ඇසූ වාර ගණනට වඩා ‘බාල ඖෂධ’ යන වචනය අසන ලද වාර ගණන වැඩි බව මේ තීරුවේ මතයය.

නව ඖෂධ තත්ත්ව රසායනාගාරයෙන් මසකට ඖෂධ වර්ග පරීක්ෂා 70කට අධික ප්‍රමාණයක් සිදු කරනු ඇත. ඒ පරීක්ෂණ ප්‍රමාණය වාර්ෂිකව දහස දක්වා වැඩි කිරීමට ක්‍රමවේදයක් කඩිනමින් සකසන ලෙසටද ඇමැති පතිරණ උපදෙස් දී තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රසායනාගාරය මඟින් සංස්ථාවේ ඖෂධ අදියර 4ක් යටතේ පරීක්ෂාවට ලක් කරනු ලබයි. එනම්: ටෙන්ඩර් නියැදි පරීක්ෂාව, නැව්ගත කිරීමට පෙර ගත් නියැදි පරීක්ෂාව, බෙදාහැරීමට පෙර නියැදි පරීක්ෂාව සහ මහජනතාව වෙත බෙදාහැරීමෙන් පසු වෙළෙඳපොළ පැමිණිලි මත නියැදි පරීක්ෂාවයි.

මේ සකල ආකාර පරීක්ෂාවන් සඳහා සැලියුට් දමන අතරේ, මේ දවස්වල මාට්ටු වී ඇති බාල ඖෂධ කේස් එක ගැනද පාඨකයාට මතක් කළ යුත්තේය.

වර්තමාන ජීවන චර්යාව අනුව හැට පැන්න බොහෝ දෙනා ෆුල් ඔප්ෂන්ය. වාහනයක් සඳහා ‘සියලු පහසුකම් සහිත’ යන්න හැඳින්වීමට යොදන ‘ෆුල් ඔප්ෂන්’ වූකලි පණගැහෙන මිනිසා වෙත එන්නේ, හේ සියලු රෝගයන්ගෙන් ආඪ්‍ය වූ කල්හිය. සමහර වාහන වහලයද හකුළා අවු රශ්මිය විඳිමින් යා හැකි ඒවාය. එහෙම බලන විට සමහර ලෙඩ ‘ෆුල් ඔප්ෂන්’ ආදියට අමතරව ‘වහලයද විවෘත කර’ යා හැකි තත්ත්වයකි. කොලිටිය පැත්තක දමා ඉමියුනෝග්ලෝබින් ප්‍රතිදේහ එන්නත් රෝහල් සඳහා බෙදාදුන් ගැන්සිය දැන් අතේ කෝට්ය. රුපියල් කෝටි ගණනක වංචාවක් කළා පමණක් නොව, බාල බෙහෙත විදින ලද ස්නායු ආබාධ සහිත ලෙඩ්ඩු හතර දෙනෙක් ඒ බෙහෙතේ සනීපය ගන්නාහ.

මෙහෙම ඒවාට කියන්නේද ‘ෆුල් ඔප්ෂන්’ කියාය. සමහරු ආපු මොඩල් එකට එහා වාහනය මොඩිෆයි කරන්නෝය. බාල බෙහෙත් දුන් සෙට් එක දැන් මාලිගාකන්ද පැත්තේ නඩුවකට යන හෙයින් ඒ ගැන්සියද ෆුල් ඔප්ෂන්ට අමතරව විවිධ අසනීප, රටින් පැන යෑම ආදිය සදහා සැරසෙනවා ඇත.

මාලිගාකන්ද අධිකරණයේ මේ නඩුව විභාග වන හෙයින් ‘මාලිගාකන්ද’ නම ඇසෙන ඇසෙන වාරයක් පාසා මේ සෙට් එකේ බඩ බුරුල් වෙනවා ඇත. මේ ආදි ‘ඌවා’ ගණනාවක් ගැන අපට අනුමාන කළ හැක්කේය.

බෙහෙතකින් ගසාගෙන කනවා කියන්නේ දෙයාකාර වංචාවකි. එකක්: වැඩි මිලට බෙහෙත් රැගෙන, එයින් කුට්ටියක් සාක්කුවේ දමාගැනීමය. අනික: බාල බෙහෙත් මිලට ගැනීමය. ඉමියුනෝග්ලෝබින් ප්‍රතිදේහ එන්නත් කේස් එක කියන්නේ මේ දෙකේම සංකලනයකි. වර්ණ සංකලනය, බතික් නිර්මාණයේදී වැදගත් දෙයකි. හරි හරියට පාට මුහු කිරීම සදහා දක්ෂ බතික් ශිල්පීහු සමත් වෙත්. එවැනිම සංකලනයක් බාල බෙහෙත් වැඩි මිලට ගෙන මේ ‘සෙට් එක’ ඉටු කර අවසන්ය.

දැන් ඇත්තේ මේ සඳහා වැඩිම දායකත්වය දුන් කෙනා සහ අවසාන වගකිව යුත්තා, කල්දේරම් බතේ රස බැලීම පිණිස යොමු කිරීමය.

බෙහෙත් කියන නම ඇසූ පමණින් හොරු රැළට නොනවත්වා යන වමනයක් එන්නටද හැකිය. තමන් කෑවේ දිරවාගත නොහැකි යමක් බව සිත දන්නේ නම්, බඩ නොදන්නවා වුවද අපුලක් ඇඟට දැනෙනවා ඇත. ‘අහවල් අසමෝදගම් දුන්නා’ කියාද මේ අපුල මට්ටු වන්නේ නැත.

නොනවත්වා සුළු දිය පහ වෙන ගතියක් මේ සෙට් එකට ඇති විය හැකිය. සුළු දිය කිස, නන්ස්ටොප් ඇති වන්නේ, දියවැඩියාව ආදි රෝග ලක්ෂණ නිසා නොව, අධික ත්‍රාසය සහ භීතිය හේතුවෙනි. ඇඟේ තැනින් තැන පලු දමා ඇද්ද යනුද ‘ඔය ලෙඩුන්’ විෂයයෙහි සොයා බැලිය යුත්තේය. පලු යන්න නොව පලු එන්නට මිනිසුන් බැණුම් පවත්වන හෙයින් අසාත්මිකතාවකින් තොරව මේ ජාතියේ උන්ට පලු එන්නේය.

ඔහොම බලන විට ‘අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි’ නම් වට්ටෝරුවේ නැති ලෙඩ සඳහාද මේ කශ්ටිය රෝහල්ගත වීමට ඉඩ තිබේ.

පිරිසක් හිර ගෙදර සිට දැන් කල දවස ගෙවා දමන්නාහ.

මේ කශ්ටිය වටා දැන් ඩීල් කැරකී එනවා ඇත. මේ ඩීල් කතා සඳහා දැන් කන් දිය යුතු නැත. ඇතුළේ සිටින එකාලා සඳහා මාර මාර ඔෆර්ස් දැන් එනවා ඇත. තමන්ගේ නම නොකියා සිටීම සඳහා ලොකු ලන්සුවකි. වෙන පැත්තකට කේස් එක හැරවීම සදහා තවත් තෑගිය. ‘මට මතක නෑ…’ ආදිය සඳහා සැනසිලි තෑගිය. ඕවාට වහල් වුණා කියන්නේ ලැබෙන තෑග්ග ‘බරපතළ වැඩ ඇතුව, ජීවිතාන්තය දක්වා’ යන වාක්‍යය තමන්ගේ නම අසලින්, අවසන් තීන්දුවේ ලියවීම විය හැකිය.

යුක්ති ගරුක ජනීජනයා වෙත දැන් වගකීමක් තිබේ. නීතිය වැඩේ ටක්කෙටම කරගෙන යන හෙයින් අප කලබල විය යුතු නැත. මේ ආකාරයට, ලෙඩ වීම ආදිය ගැන අප සැඟවී හෝ නිහඬව සිටිය නොහැකිය. අපගේ ආදරණීයයන් ‘ලෙඩාදුකා’ වූ විට නැඟෙන තැති ගැන්ම කිව නොහැකිය. ඒ ඔස්සේ සල්ලි බලාගෙන ගේම් ගැසූ එවුන් ‘වල්වාසි’ ගැසීමට ඉඩ ඇති බැවින් මේ දවස්වල අප නිඳාගත යුත්තේද ‘ඇහැ ඇරගෙන, කන් දීගෙන’ ය.

1998 වර්ෂයේදී ඖෂධ පරීක්ෂාව සඳහා තිබුණු රසායනාගාරයක්, කොළඹ කොටුව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේ ස්ථාපිත කර තිබිණි. ඊයේ නවීකරණය වූයේ එයය. බාල ඖෂධවලට මේ ආදි බාධක ඇති කරන්නේ නම්, ‘බාල’ යන වචනය අපට බාලදක්ෂ, බාල ළමා, බාල මහලු ආදිය සඳහා වැඩියෙන් ඇසීමට හැකි වනවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT