Saturday, May 10, 2025
Home » පරෙස්සම් වන්න ලාදුරු වැඩි වෙයි

පරෙස්සම් වන්න ලාදුරු වැඩි වෙයි

by gayan
November 30, 2023 1:00 am 0 comment

රජිත බස්නායක

ලාදුරු වර්ත­මා­නය වන විට යළිත් වරක් ශ්‍රී ලංකාවේ කෙමෙන් හිස ඔස­ව­මින් පව­තින රෝග­යකි. මෙම රෝගය ස්ත්‍රී, පුරුෂ මෙන්ම වයස් භේද­ය­කින් තොර­වම ඕනෑම අය­කුට වැල­ඳිය හැකි රෝග­යකි. වත්මන ලාදුරු රෝගය පිළි­බ­ඳව යම්කිසි අයු­ර­කින් කතා­බ­හට ලක් කළ ද මෙහි ඉති­හා­සය වසර 5000කට පමණ එහා දිව­ යන බව සඳ­හන් කර­නුයේ බී.බී.සී. පුවත් සේව­යයි. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය සම්බ­න්ධ­යෙන් කතා කිරී­මේදී පළමු ලාදුරු රෝගියා හමු­වුණා යැයි සඳ­හන් වන්නේ ක්‍රි.ව. 1700 වස­රේදී පම­ණය. මේ සම­යේදී සුව කළ නොහැකි රෝග­යක් ලෙසින් හඳුන්වා දෙන ලද ලාදුරු රෝගය, ඉතා භයා­නක මට්ටමේ රෝග­යක්ය යන්න සමා­ජයේ මුල්බැස ගැනී­මට හේතු වූයේ එව­කට මේ සඳහා කවර ආකා­රයේ හෝ ඖෂ­ධ­යක් සොයා­ගැ­න්මට නොහැකි වීම හේතු­වෙනි. කොයි­හැටි වෙතත් ඉති­හාස විස්ත­ර­යන්හි සඳ­හන් වන ආකා­ර­යට ශ්‍රී ලංකා­වට පැමිණි ලන්දේසි කුමා­ර­ය­කුට ලාදුරු රෝගය වැල­ඳීම කර­ණ­කොට මෙරට ලාදුරු රෝහල ඉදි­කි­රී­මට මුල්ගල තැබීම සිදු කර තිබුණේ වර්ෂ 1708 දීය. එද­වස මෙම රෝහල සුඛෝ­ප­භෝගී ආකා­ර­යෙන් ඉදි­ක­ර­න්නට හේතු කාරණා වූයේ පළමු ලාදුරු රෝගියා ලෙස ලන්දේසි කුමා­ර­යාට සත්කාර කළ යුතු බැවිනි. මෙසේ ඉදි­ක­රන ලද රෝහ­ලෙහි රෝගීන් නවා­තැ­න්ගත් පසු ඔවුන් මිය යාමෙන් අන­තු­රුව සිරුරු ගෙන­යාම සඳහා වෙන් ක­රන ලද කරත්ත පැවති අතර, වත්මන වන විටත් රෝහල් භූමිය තුළ කරත්ත දක්නට ලැබේ. එමෙන්ම රෝගීන්ගේ ඇඳුම් පැල­ඳුම් සෝදා පවිත්‍ර කිරීම සඳහා විශාල කාම­ර­යක් ප්‍රමා­ණයේ රෙදි සෝදන යන්ත්‍ර­යක් පැවති අතර, එය හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ භාවිත කළ පළමු රෙදි සෝදන යන්ත්‍රය ලෙසිනි. මේ අයු­රින් ඉහත සඳ­හන් කරන ලද්දේ හැඳල පිහිටි ලාදුරු රෝහල පිළි­බ­ඳ­වය. අතී­ත­යේදී රෝහල සහ සම්බන්ධ ජන­ප්‍රි­යම කතාව වූයේ රෝහ­ලට පැමි­ණි­යකු පිටත්ව ගියේ මිනී පෙට්ටි­ය­කින් මිස යහ­තින් නොවන බවයි.

ලාදුරු රෝගය

ලාදුරු බොහෝ­දෙනා කතා­බහ කිරී­මට නොව මතක් කිරී­මට හෝ අක­මැති ආකා­රයේ රෝග­යකි. මෙය වෛද්‍ය විද්‍යා­වේදී හඳුන්වා ඇත්තේ බැක්ටී­රි­යා­වක් මඟින් බෝ ‍ෙවන රෝග­යක් ලෙසින් වන අතර, එය සෙමින් පුද්ගල ශරී­රය තුළ පැතිර යන්නකි. මෙය නිද­න්ගත රෝග­යක් සෙයින් සම සහ පර්යන්ත ස්නායු පද්ධ­ති­යට මෙයින් බල­පෑම් සිදු­වන බව මේ වන විට හඳු­නා­ගෙන තිබේ. ලාදුරු රෝගයේ ලක්ෂණ කව­රේද යන්න සඳ­හන් කිරී­මේදී මූලි­ක­වම ඉදි­රි­පත් කළ යුතු කාර­ණාව වන්නේ සමේ සංවේ­ද­නය අඩු හෝ සංවේ­ද­නය නොදැ­නෙන කැළැල් පිළි­බ­ඳව වඩා අව­ධා­නය යොමු කළ යුතු බවයි. ලාදුරු මර්දන ව්‍යාපා­රය සඳ­හන් කරනා ආකා­ර­යට මෙකී ලප කැළැල් මඳ රතු පැහැ­ය­කින් හෝ තඹ­වන් පැහැ­ය­කින් යුක්ත වේ. එසේම කැසී­මක් හෝ නොමැ­තිව මඳක් උස්ව හෝ සම­ටම ඇලී පව­තින පැතලි ආකා­ර­යෙන් දිස්ව පවතී. ලාදුරු රෝගය හඳු­නා­ගත හැකි මුල්ම ලක්ෂ­ණය වන්නේද සංවේ­ද­නය නොදැ­නෙන මෙම ලප කැළැල්ය. ඊට අම­ත­රව අත් පාවල හිරි­ග­තිය, ඇහි­බැමි ආදිය කෙමෙන් ගැලවී යාම, කන්පෙති පෙරට තිබු­ණාට වඩා ගන ­වීම, සම්පූර්ණ වශ­යෙන් ඇස්පිය වැසී­මට නොහැ­කි ­වීම, ඇඟි­ලි­වල ඇති­වන වේද­නා­වක් නොදැ­නෙන තුවාල සඳ­හන් කළ හැකිය.
ඉහත රෝග ලක්ෂණ එසේ සඳ­හන් කළ ද ලාදුරු රෝගය නොවන නමුත්, ඒ හා සමාන ලක්ෂණ ඇත්ත­වුන් ද අන­වශ්‍ය බිය­කට පත්වන අවස්ථා නැතුවා නොවේ. දැනී­මක් සහිත ලප කැළැල්, උපතේ සිටම පව­තින ලප කැළැල්, හදි­සියේ ඇති­වන සමේ පැති­ර­යන ව්‍යාකූ­ලතා සහ කැසී­මක් ඇති­වන කළු, සුදු හා රතු කුඩු අයු­රින් ඉව­ත්වන ලප මේ ගණ­යෙ­හිලා සැලැ­කිය හැකියි.

ලොව ව්‍යාප්ත ලාදුරු

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්ණා­ය­ක­යන්ට අනුව 2022 වස­රේදී රට­වල් 182ක ලාදුරු රෝගය ව්‍යාප්තව පැවති අතර, රෝගීන් 165,459ක් පමණ අත­රට නව රෝගීන් 174,087 කට ආසන්න සංඛ්‍යා­වක් ලියා­ප­දිං­චිව සිටි­යහ. ඉන් 39%ක පමණ ප්‍රමා­ණ­යක් කාන්තාවෝ වූහ. එමෙන්ම, ගෝලීය වශ­යෙන් ගත්කල නව රෝගීන් 9554ක් පමණ හඳුනා ගැනී­මට හැකිව තිබූ අතර, ඒ අතු­රින් 3%ක ප්‍රමා­ණ­යක් පාසල් යන වියේ සිටි දරු­වන්ය. ලෝකය පුරා මිලි­යන දෙකේ සිට තුන දක්වා අතර සංඛ්‍යා­වක් ලාදුරු රෝගය හේතු­වෙන් ආබා­ධිත තත්ත්ව­යට පත්වූ­වන්ගේ ලැයි­ස්තු­වට එක්ව සිටින අතර, මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් සිටි­නුයේ යැයි සඳ­හන් වන්නේ ඉන්දි­යා­වේය.
ඉන්පසු දෙවන සහ තුන්වන ස්ථාන අත­රට අය­ත්වන්නේ බ්‍රසී­ලය සහ ඉන්දු­නී­සි­යා­වයි. ඖෂ­ධ­යක් සොයා­ගැ­නී­මට නොහැකි වීම හේතු­වෙන් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම තුළ අතී­ත­යේදී ලොව පුරා ලාදුරු ජන­පද බිහි­ව­න්නට විය. වර්ත­මා­නය වන විටද ලාදුරු ජන­පද පව­තින අතර, විශා­ල­තම ලාදුරු ජන­ප­දය පව­තින්නේ පිලි­පී­න­යේය. කෙසේ වුවත් අපේ අස­ල්වැසි රට වන ඉන්දි­යා­වේද ලාදුරු ජන­පද 700ක් පමණ පවතී.
මේ සියලු කාරණා සමඟ සංස­න්ද­නය කිරී­මේදී ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පව­සන්නේ ලාදුරු රෝගී­න්ගෙන් අති­ම­හත් බහු­ත­රය දකුණු අමෙ­රි­කා­වෙන්, අප්‍රි­කා­වෙන් සහ ආසි­යා­වෙන් සොයා­ගත් බවය.
ලාදුරු රෝගය ප්‍රධාන වශ­යෙන් කොටස් දෙක­කට බෙදෙන අතර, එය හඳු­න්වන්නේ බෝ ‍ෙවන ලාදුරු සහ බෝ නොවන ලාදුරු වශ­යෙනි. බෝ‍ ෙවන ලාදුරු ලෙසින් හඳුන් වන විට පර්යන්ත ස්නායු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමා­ණ­යක් ආසා­ද­නය වී තිබීම සංවේ­ද­න­යක් නොදැ­නෙන ලප කැළැල් 5ක් පමණ ශරී­රය පුරා පැතිර තිබීම සහ සම මත සිදු කරන බැක්ටී­රියා පරී­ක්ෂා­වේදී ශරී­රයේ ඕනෑම ස්ථාන­ය­කින් බැක්ටී­රි­යා­වක් හමු­වීම ආදිය දැක්විය හැකියි. එමෙන්ම, බෝ නොවන ලාදුරු යනු පර්යන්ත ස්නායු­වක් ඇතැම් විට ආසා­ද­න­යට ලක්ව තිබිය හැකි අතර, සමෙහි කිසිදු ස්ථාන­යක බැක්ටී­රියා හමු නොවේ. තවද සංවේ­ද­න­යක් නොමැති ලප කැළැල් පහ­කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් ද පැව­තිය හැකිය. මේ ලාදුරු රෝගීන් කාණ්ඩ දෙක­කට තබා වෙන් කි­රී­මේදී දැක්විය හැක්කේ බැක්ටී­රියා වැඩි වශ­යෙන් ශරී­ර­ග­තව සිටින රෝගීන් සහ බැක්ටී­රියා අඩු වශ­යෙන් ශරී­ර­ග­තව සිටින රෝගීන් ලෙසිනි. මේ අයු­රින් බැක්ටී­රියා වැඩි ප්‍රමා­ණ­යක් ශරී­ර­ග­තව තිබෙන රෝගීන් මාර්ග­යෙන් ලාදුරු රෝගය බෝ ‍ෙවන අතර, අඩු බැක්ටී­රියා ප්‍රමා­ණ­යක් සිටින රෝගී­න්ගෙන් ලාදුරු පැති­රී­මක් සිදු නොවේ.

ශ්‍රී ලංකාවේ ලාදුරු

ලාදුරු රෝගීන් අතු­රින් ගත්කල මිනි­සුන් ලක්ෂ­ය­ක­ගෙන් 10කට වඩා අඩු රෝගීන් සංඛ්‍යා­වක් සිටී නම්, එය සල­කනු ලබන්නේ ලාදුරු තුරන් කිරීමේ මට්ට­ම­කට යම් රටක් පත්ව ඇති බවයි. ඒ අනුව 1995 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පැව­තියේ එවන් තත්ත්ව­ය­කය. එහෙත්, එම තත්ත්වය වෙනස් වී යළිත් වරක් ලාදුරු හිස එස­වීමේ තත්ත්ව­යට ශ්‍රී ලංකාව පත්වූයේ මහ­ජ­න­තා­වගේ නොදැ­නු­ව­ත්භා­වය හෙයින් බව කිව­ යු­තුය. මන්ද 1995 වසර වන විට ශ්‍රී ලංකා­වෙන් මේ රෝගය තුරන් කිරීමේ මට්ටම පැමි­ණී­මත් සමඟ මහ­ජ­න­තාව අතර වැරදි මත­යක් ඇති­වූයේ ශ්‍රී ලංකාව තුළ ලාදුරු නොමැති බවකි.
කෙසේ වෙතත් ලාදුරු මර්දන ව්‍යාපා­රයේ දත්ත ලේඛ­න­යන්ට අනුව 2019 වස­රේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් 1661ක් සිටි බව සඳ­හන්ය. එමෙන්ම 2021 වසර වන විට එවක පැවති තත්ත්වය අනුව වස­ර­කට රෝගීන් 2000ක් පමණ සොයා­ගැ­නී­මට හැකි­ වීමේ සම්භා­වි­තා­වක් තිබිණි. 2023 ජන­වාරි මාස­යේදී ලාදුරු රෝගීන් 1325ක් සොයා ගැනිණි. අවා­ස­නා­වන්ත තත්ත්වය වන්නේ වර්ත­මා­නය වන විටද මේ රෝගීන් අත­රට වැඩි වශ­යෙන් ළමුන් යම් ප්‍රති­ශ­ත­යක් එක්වී­මයි. ළමු­න්ගෙන් වැඩි ප්‍රති­ශ­ත­යක් පෙන්නුම් කර­නුයේ වයස අවු­රුදු 10 – 14 අතර සිටි­න්න­වුන්ය. මේ හේතු­වෙන් තවත් පාර්ශ්ව­ය­කට රෝගය වැල­ඳීමේ වැඩි ප්‍රව­ණ­තා­ව­යක් පෙන්නුම් කරන අතර, ළමුන්ට මෙම රෝගය වැල­ඳී­මෙන් දෙනු ලබන පණි­වු­ඩය වන්නේ එම නිවෙස් වටා තවත් රෝගීන් සිටිය හැකි බවයි. රෝගය කව­රා­කාර වුවද තවත් ගැට­ලු­වක් බවට පත්ව ඇති කාර­ණාව වන්නේ පමා වී රෝගීන් වාර්තා­ වී­මයි. මේ නිසා රෝගීන් රෝහල් කරා පැමි­ණෙන්නේ වැඩි වශ­යෙන් සංකූ­ල­තා­ව­යන්ද සම­ඟිනි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, මින් සිදු­ වන්නේ පමාවී ලැබෙන ප්‍රති­කාර හේතු­වෙන් ස්නායු පද්ධ­ති­යට හානි සිදුව තිබු­ණ­හොත් ජීවිත කාලය පුරාම එම ආබා­ධ­යන් සහි­තව ජීව­ත්වී­මට සිදු­වී­මයි.
2019 වසරේ හමුවූ රෝගීන්ගෙන් 90 කට වැඩි සංඛ්‍යා­වක් ප්‍රති­කා­ර­ව­ලට යොමුව ඇත්තේ බර­ප­තළ සංකූ­ලතා ද සම­ඟිනි. ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය පව­සන්නේ ලාදුරු රෝගයේ අව­දා­නම වැඩි­ වී­මට කාලය තීර­ණා­ත්මක සාධ­ක­යක් වනු ඇති බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්ණා­ය­ක­යන්ට අනුව බර­ප­තළ සංකූ­ලතා සහි­තව මිනි­සුන් දශ­ල­ක්ෂ­ය­කට සිටිය හැක්කේ එක් ලාදුරු රෝගි­යෙක් පම­ණකි. එහෙත්, 2019 වසර දෙස බැලූ විට පෙනී යන කරුණ වන්නේ සංකූ­ලතා සහිත රෝගීන් 93 දෙන­කුම හමුව ඇති බවයි. ශ්‍රී ලංකාවේ සිටි­න්නා වූ රෝගී­න්ගෙන් වැඩි දෙනෙකු වැඩි බැක්ටී­රියා ප්‍රමා­ණ­යක් සහිත රෝගීන්ය. එම නිසා රට තුළ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩ­ක­ඩක්ද පව­තින බව කිව යුතුය.

වත්මන් තත්ත්වය

ලාදුරු මර්දන ඒක­කයේ විශේ­ෂඥ වෛද්‍ය ප්‍රසාද් රණ­වීර සඳ­හන් කරන ආකා­ර­යට මේ වසරේ ජන­වාරි මස සිට මේ දක්වා කාල­යේදී හඳුනා ගැනී­මට සමත්වූ රෝගීන්ගේ සංඛ්‍යාව 1256කට ආස­න්නය. සම­ස්ත­යක් ලෙසින් ගත් කල රෝගීන් වැඩි වශ­යෙන් හමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙනි. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 256කි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් රෝගීන් 138ක්, මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්ක­යෙන් රෝගීන් 130ක් සහ කළු­තර දිස්ත්‍රි­ක්ක­යෙන් 92ක් ද ආදී ලෙසින් දිස්ත්‍රික්ක කිහි­ප­ය­කින්ම රෝගීන් හමුව තිබේ.
මේ ආකා­ර­යෙන් අනා­ව­ර­ණය කර­ගත් පරිදි වයස අවු­රුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු ද හමුව ඇති අතර, ඉන් වැඩි­දෙ­නෙකු හමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙනි. හමුව ඇති ළමා රෝගීන් සංඛ්‍යාව 39 දෙනෙකු වන අතර, ගම්පහ, කළු­තර හා මඩ­ක­ල­පුව දිස්ත්‍රි­ක්ක­ව­ලින් ද ළමා රෝගීන් සොයා ගැනී­මට හැකිව තිබේ.
මහ­ජ­න­තාව අතර පෙර කාලයේ සිටම පැවැති මතය වන්නේ ලාදුරු රෝගය සඳහා ඖෂ­ධ­යක් සොයා­ගෙන නැති බවය. එහෙත්, මේ වන විට එම තත්ත්වය සම්පූ­ර්ණ­යෙන්ම වෙනස්ව තිබේ. ලාදුරු රෝගීන් සඳහා යම් මට්ට­මක සාර්ථක ප්‍රති­කා­ර­යක් සොයා­ගැ­නී­මට හැකිව ඇත්තේ 1940 වර්ෂ­යේ­දීය. නැවත වරක් ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ නිර්දේ­ශ­යන් සහි­තව බහු ඖෂධ ප්‍රති­කාර ක්‍රම­යක් හඳු­න්වා­ දෙනු ලැබූවේ 1981 වස­රේ­දීය. කොයි­හැටි වෙතත්, ලාදුරු රෝගය සම්බ­න්ධව යම් ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හෝ සැක­යක් තිබේ නම් කළ යුතු වන්නේ ඒ සඳහා ප්‍රති­කාර වෙත යොමු වීමය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT