ලාදුරු වර්තමානය වන විට යළිත් වරක් ශ්‍රී ලංකාවේ කෙමෙන් හිස ඔසවමින් පවතින රෝගයකි. මෙම රෝගය ස්ත්‍රී, පුරුෂ මෙන්ම වයස් භේදයකින් තොරවම ඕනෑම අයකුට වැලඳිය හැකි රෝගයකි. වත්මන ලාදුරු රෝගය පිළිබඳව යම්කිසි අයුරකින් කතාබහට ලක් කළ ද මෙහි ඉතිහාසය වසර 5000කට පමණ එහා දිව යන බව සඳහන් කරනුයේ බී.බී.සී. පුවත් සේවයයි. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය සම්බන්ධයෙන් කතා කිරීමේදී පළමු ලාදුරු රෝගියා හමුවුණා යැයි සඳහන් වන්නේ ක්‍රි.ව. 1700 වසරේදී පමණය. මේ සමයේදී සුව කළ නොහැකි රෝගයක් ලෙසින් හඳුන්වා දෙන ලද ලාදුරු රෝගය, ඉතා භයානක මට්ටමේ රෝගයක්ය යන්න සමාජයේ මුල්බැස ගැනීමට හේතු වූයේ එවකට මේ සඳහා කවර ආකාරයේ හෝ ඖෂධයක් සොයාගැන්මට නොහැකි වීම හේතුවෙනි. කොයිහැටි වෙතත් ඉතිහාස විස්තරයන්හි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ලන්දේසි කුමාරයකුට ලාදුරු රෝගය වැලඳීම කරණකොට මෙරට ලාදුරු රෝහල ඉදිකිරීමට මුල්ගල තැබීම සිදු කර තිබුණේ වර්ෂ 1708 දීය. එදවස මෙම රෝහල සුඛෝපභෝගී ආකාරයෙන් ඉදිකරන්නට හේතු කාරණා වූයේ පළමු ලාදුරු රෝගියා ලෙස ලන්දේසි කුමාරයාට සත්කාර කළ යුතු බැවිනි. මෙසේ ඉදිකරන ලද රෝහලෙහි රෝගීන් නවාතැන්ගත් පසු ඔවුන් මිය යාමෙන් අනතුරුව සිරුරු ගෙනයාම සඳහා වෙන් කරන ලද කරත්ත පැවති අතර, වත්මන වන විටත් රෝහල් භූමිය තුළ කරත්ත දක්නට ලැබේ. එමෙන්ම රෝගීන්ගේ ඇඳුම් පැලඳුම් සෝදා පවිත්‍ර කිරීම සඳහා විශාල කාමරයක් ප්‍රමාණයේ රෙදි සෝදන යන්ත්‍රයක් පැවති අතර, එය හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ භාවිත කළ පළමු රෙදි සෝදන යන්ත්‍රය ලෙසිනි. මේ අයුරින් ඉහත සඳහන් කරන ලද්දේ හැඳල පිහිටි ලාදුරු රෝහල පිළිබඳවය. අතීතයේදී රෝහල සහ සම්බන්ධ ජනප්‍රියම කතාව වූයේ රෝහලට පැමිණියකු පිටත්ව ගියේ මිනී පෙට්ටියකින් මිස යහතින් නොවන බවයි.
ලාදුරු රෝගය
ලාදුරු බොහෝදෙනා කතාබහ කිරීමට නොව මතක් කිරීමට හෝ අකමැති ආකාරයේ රෝගයකි. මෙය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වා ඇත්තේ බැක්ටීරියාවක් මඟින් බෝ ෙවන රෝගයක් ලෙසින් වන අතර, එය සෙමින් පුද්ගල ශරීරය තුළ පැතිර යන්නකි. මෙය නිදන්ගත රෝගයක් සෙයින් සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට මෙයින් බලපෑම් සිදුවන බව මේ වන විට හඳුනාගෙන තිබේ. ලාදුරු රෝගයේ ලක්ෂණ කවරේද යන්න සඳහන් කිරීමේදී මූලිකවම ඉදිරිපත් කළ යුතු කාරණාව වන්නේ සමේ සංවේදනය අඩු හෝ සංවේදනය නොදැනෙන කැළැල් පිළිබඳව වඩා අවධානය යොමු කළ යුතු බවයි. ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කරනා ආකාරයට මෙකී ලප කැළැල් මඳ රතු පැහැයකින් හෝ තඹවන් පැහැයකින් යුක්ත වේ. එසේම කැසීමක් හෝ නොමැතිව මඳක් උස්ව හෝ සමටම ඇලී පවතින පැතලි ආකාරයෙන් දිස්ව පවතී. ලාදුරු රෝගය හඳුනාගත හැකි මුල්ම ලක්ෂණය වන්නේද සංවේදනය නොදැනෙන මෙම ලප කැළැල්ය. ඊට අමතරව අත් පාවල හිරිගතිය, ඇහිබැමි ආදිය කෙමෙන් ගැලවී යාම, කන්පෙති පෙරට තිබුණාට වඩා ගන වීම, සම්පූර්ණ වශයෙන් ඇස්පිය වැසීමට නොහැකි වීම, ඇඟිලිවල ඇතිවන වේදනාවක් නොදැනෙන තුවාල සඳහන් කළ හැකිය.
ඉහත රෝග ලක්ෂණ එසේ සඳහන් කළ ද ලාදුරු රෝගය නොවන නමුත්, ඒ හා සමාන ලක්ෂණ ඇත්තවුන් ද අනවශ්‍ය බියකට පත්වන අවස්ථා නැතුවා නොවේ. දැනීමක් සහිත ලප කැළැල්, උපතේ සිටම පවතින ලප කැළැල්, හදිසියේ ඇතිවන සමේ පැතිරයන ව්‍යාකූලතා සහ කැසීමක් ඇතිවන කළු, සුදු හා රතු කුඩු අයුරින් ඉවත්වන ලප මේ ගණයෙහිලා සැලැකිය හැකියි.
ලොව ව්‍යාප්ත ලාදුරු
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව 2022 වසරේදී රටවල් 182ක ලාදුරු රෝගය ව්‍යාප්තව පැවති අතර, රෝගීන් 165,459ක් පමණ අතරට නව රෝගීන් 174,087 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිව සිටියහ. ඉන් 39%ක පමණ ප්‍රමාණයක් කාන්තාවෝ වූහ. එමෙන්ම, ගෝලීය වශයෙන් ගත්කල නව රෝගීන් 9554ක් පමණ හඳුනා ගැනීමට හැකිව තිබූ අතර, ඒ අතුරින් 3%ක ප්‍රමාණයක් පාසල් යන වියේ සිටි දරුවන්ය. ලෝකය පුරා මිලියන දෙකේ සිට තුන දක්වා අතර සංඛ්‍යාවක් ලාදුරු රෝගය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූවන්ගේ ලැයිස්තුවට එක්ව සිටින අතර, මේ වන විට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටිනුයේ යැයි සඳහන් වන්නේ ඉන්දියාවේය.
ඉන්පසු දෙවන සහ තුන්වන ස්ථාන අතරට අයත්වන්නේ බ්‍රසීලය සහ ඉන්දුනීසියාවයි. ඖෂධයක් සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම තුළ අතීතයේදී ලොව පුරා ලාදුරු ජනපද බිහිවන්නට විය. වර්තමානය වන විටද ලාදුරු ජනපද පවතින අතර, විශාලතම ලාදුරු ජනපදය පවතින්නේ පිලිපීනයේය. කෙසේ වුවත් අපේ අසල්වැසි රට වන ඉන්දියාවේද ලාදුරු ජනපද 700ක් පමණ පවතී.
මේ සියලු කාරණා සමඟ සංසන්දනය කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලාදුරු රෝගීන්ගෙන් අතිමහත් බහුතරය දකුණු අමෙරිකාවෙන්, අප්‍රිකාවෙන් සහ ආසියාවෙන් සොයාගත් බවය.
ලාදුරු රෝගය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන අතර, එය හඳුන්වන්නේ බෝ ෙවන ලාදුරු සහ බෝ නොවන ලාදුරු වශයෙනි. බෝ ෙවන ලාදුරු ලෙසින් හඳුන් වන විට පර්යන්ත ස්නායු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආසාදනය වී තිබීම සංවේදනයක් නොදැනෙන ලප කැළැල් 5ක් පමණ ශරීරය පුරා පැතිර තිබීම සහ සම මත සිදු කරන බැක්ටීරියා පරීක්ෂාවේදී ශරීරයේ ඕනෑම ස්ථානයකින් බැක්ටීරියාවක් හමුවීම ආදිය දැක්විය හැකියි. එමෙන්ම, බෝ නොවන ලාදුරු යනු පර්යන්ත ස්නායුවක් ඇතැම් විට ආසාදනයට ලක්ව තිබිය හැකි අතර, සමෙහි කිසිදු ස්ථානයක බැක්ටීරියා හමු නොවේ. තවද සංවේදනයක් නොමැති ලප කැළැල් පහකට වඩා වැඩි ප්‍රමාණයක් ද පැවතිය හැකිය. මේ ලාදුරු රෝගීන් කාණ්ඩ දෙකකට තබා වෙන් කිරීමේදී දැක්විය හැක්කේ බැක්ටීරියා වැඩි වශයෙන් ශරීරගතව සිටින රෝගීන් සහ බැක්ටීරියා අඩු වශයෙන් ශරීරගතව සිටින රෝගීන් ලෙසිනි. මේ අයුරින් බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් ශරීරගතව තිබෙන රෝගීන් මාර්ගයෙන් ලාදුරු රෝගය බෝ ෙවන අතර, අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සිටින රෝගීන්ගෙන් ලාදුරු පැතිරීමක් සිදු නොවේ.
ශ්‍රී ලංකාවේ ලාදුරු
ලාදුරු රෝගීන් අතුරින් ගත්කල මිනිසුන් ලක්ෂයකගෙන් 10කට වඩා අඩු රෝගීන් සංඛ්‍යාවක් සිටී නම්, එය සලකනු ලබන්නේ ලාදුරු තුරන් කිරීමේ මට්ටමකට යම් රටක් පත්ව ඇති බවයි. ඒ අනුව 1995 වර්ෂය වන විට ශ්‍රී ලංකාව පැවතියේ එවන් තත්ත්වයකය. එහෙත්, එම තත්ත්වය වෙනස් වී යළිත් වරක් ලාදුරු හිස එසවීමේ තත්ත්වයට ශ්‍රී ලංකාව පත්වූයේ මහජනතාවගේ නොදැනුවත්භාවය හෙයින් බව කිව යුතුය. මන්ද 1995 වසර වන විට ශ්‍රී ලංකාවෙන් මේ රෝගය තුරන් කිරීමේ මට්ටම පැමිණීමත් සමඟ මහජනතාව අතර වැරදි මතයක් ඇතිවූයේ ශ්‍රී ලංකාව තුළ ලාදුරු නොමැති බවකි.
කෙසේ වෙතත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ දත්ත ලේඛනයන්ට අනුව 2019 වසරේදී ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් 1661ක් සිටි බව සඳහන්ය. එමෙන්ම 2021 වසර වන විට එවක පැවති තත්ත්වය අනුව වසරකට රෝගීන් 2000ක් පමණ සොයාගැනීමට හැකි වීමේ සම්භාවිතාවක් තිබිණි. 2023 ජනවාරි මාසයේදී ලාදුරු රෝගීන් 1325ක් සොයා ගැනිණි. අවාසනාවන්ත තත්ත්වය වන්නේ වර්තමානය වන විටද මේ රෝගීන් අතරට වැඩි වශයෙන් ළමුන් යම් ප්‍රතිශතයක් එක්වීමයි. ළමුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පෙන්නුම් කරනුයේ වයස අවුරුදු 10 – 14 අතර සිටින්නවුන්ය. මේ හේතුවෙන් තවත් පාර්ශ්වයකට රෝගය වැලඳීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන අතර, ළමුන්ට මෙම රෝගය වැලඳීමෙන් දෙනු ලබන පණිවුඩය වන්නේ එම නිවෙස් වටා තවත් රෝගීන් සිටිය හැකි බවයි. රෝගය කවරාකාර වුවද තවත් ගැටලුවක් බවට පත්ව ඇති කාරණාව වන්නේ පමා වී රෝගීන් වාර්තා වීමයි. මේ නිසා රෝගීන් රෝහල් කරා පැමිණෙන්නේ වැඩි වශයෙන් සංකූලතාවයන්ද සමඟිනි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත්, මින් සිදු වන්නේ පමාවී ලැබෙන ප්‍රතිකාර හේතුවෙන් ස්නායු පද්ධතියට හානි සිදුව තිබුණහොත් ජීවිත කාලය පුරාම එම ආබාධයන් සහිතව ජීවත්වීමට සිදුවීමයි.
2019 වසරේ හමුවූ රෝගීන්ගෙන් 90 කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිකාරවලට යොමුව ඇත්තේ බරපතළ සංකූලතා ද සමඟිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ලාදුරු රෝගයේ අවදානම වැඩි වීමට කාලය තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව බරපතළ සංකූලතා සහිතව මිනිසුන් දශලක්ෂයකට සිටිය හැක්කේ එක් ලාදුරු රෝගියෙක් පමණකි. එහෙත්, 2019 වසර දෙස බැලූ විට පෙනී යන කරුණ වන්නේ සංකූලතා සහිත රෝගීන් 93 දෙනකුම හමුව ඇති බවයි. ශ්‍රී ලංකාවේ සිටින්නා වූ රෝගීන්ගෙන් වැඩි දෙනෙකු වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් සහිත රෝගීන්ය. එම නිසා රට තුළ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක්ද පවතින බව කිව යුතුය.
වත්මන් තත්ත්වය
ලාදුරු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කරන ආකාරයට මේ වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලයේදී හඳුනා ගැනීමට සමත්වූ රෝගීන්ගේ සංඛ්‍යාව 1256කට ආසන්නය. සමස්තයක් ලෙසින් ගත් කල රෝගීන් වැඩි වශයෙන් හමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 256කි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 138ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 92ක් ද ආදී ලෙසින් දිස්ත්‍රික්ක කිහිපයකින්ම රෝගීන් හමුව තිබේ.
මේ ආකාරයෙන් අනාවරණය කරගත් පරිදි වයස අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් 131 දෙනෙකු ද හමුව ඇති අතර, ඉන් වැඩිදෙනෙකු හමුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. හමුව ඇති ළමා රෝගීන් සංඛ්‍යාව 39 දෙනෙකු වන අතර, ගම්පහ, කළුතර හා මඩකලපුව දිස්ත්‍රික්කවලින් ද ළමා රෝගීන් සොයා ගැනීමට හැකිව තිබේ.
මහජනතාව අතර පෙර කාලයේ සිටම පැවැති මතය වන්නේ ලාදුරු රෝගය සඳහා ඖෂධයක් සොයාගෙන නැති බවය. එහෙත්, මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව තිබේ. ලාදුරු රෝගීන් සඳහා යම් මට්ටමක සාර්ථක ප්‍රතිකාරයක් සොයාගැනීමට හැකිව ඇත්තේ 1940 වර්ෂයේදීය. නැවත වරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් සහිතව බහු ඖෂධ ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූවේ 1981 වසරේදීය. කොයිහැටි වෙතත්, ලාදුරු රෝගය සම්බන්ධව යම් ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් හෝ සැකයක් තිබේ නම් කළ යුතු වන්නේ ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමු වීමය.