Home » උමඟේ සිර වූ සේවක­‍ෙයා් දින 17කට පසු මුදාගැ‍නෙති

උමඟේ සිර වූ සේවක­‍ෙයා් දින 17කට පසු මුදාගැ‍නෙති

by gayan
November 30, 2023 1:00 am 0 comment

මීට දින 16කට පෙර ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ ඉදි කරමින් තිබුණු උමං මාර්ගයක් නාය යෑමෙන් එහි සිර වූ සේවකයන් 41 දෙනා පෙරේදා රාත්‍රී මුදා ගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය. පැය 400කට අධික කාලයක් අඳුරු උමං මාර්ගයේ කොටු වී සිටි සේවකයන් මුදා ගැනීමේ මෙහෙයුම ඉතා දුෂ්කර වූ අතර, ඔවුන් සියලු දෙනාමුදා ගැනීමට පැය හයකට වැඩි කාලයක් ගත වී තිබේ. ඒ සඳහා පටු කුහර අතින් කැණීම් ක්‍රමවේදය භාවිතයට ගෙන ඇති අතර, පළපුරුදු පටු කුහර කැණීම් කණ්ඩායමක් නවදිල්ලි නුවරින් ගෙන්වා ගැනීමට මෙහෙයුම් කණ්ඩායමට සිදු වී තිබූ බව ද වාර්තා වේ. Rat hole Mining නමැති පටු කුහර අතින් කැණීම් සිදු කිරීමේ ක්‍රමවේදය පාරිසරික විනාශය සහ ජීවිත අවදානම සැලකිල්ලට ගෙන වසර 2014 දී ඉන්දියාවේ ජාතික පාරිසරික විනිශ්චය සභාවේ නිර්දේශ මත එරට රජය තහනම් කර තිබුණ ද, එරට බොහෝ ප්‍රාන්තවල නීති විරෝධී ලෙස එය සිදු වන බව ද වාර්තා වේ.

අවසානයේ එම ක්‍රමවේදය උපයෝගි කරමින් උමං මාර්ගයේ සිර වූ සේවකයන් පිටතට ගනු ලැබුවේ එසේ මතු කරගත් කුහරයේ අඩි 3ක විෂ්කම්භයකින් යුතු නළයක් සවි කර එතුළින් යවනු ලැබූ එම රෝද සවි කළ ගිලන් මැස්සක ආධාරයෙන් බව ද වාර්තා වේ. වරකට එක් සේවකයකු බැගින් පිටතට ගැනීමට මිනිත්තු 3 සිට මිනිත්තු 5ක පමණ කාලයක් ගත වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. එම සේවකයන්ට කිසිදු අනතුරක් සිදු වී නොතිබුණද, වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට ඔවුන් ගිලන් රථ මඟින් ආසන්නතම රෝහල වෙත රැගෙන ගොස් තිබිණි.

දින 16ක් පුරා ඉන්දීය රජයේ ආපදා සහන බලකාය, පොලිසිය සහ ඉන්දීය යුද හමුදාව ඒකාබද්ධව සිදු කළ එම මෙහෙයුම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි පැසසුමට ලක් වී ඇති අතර, දීර්ඝ කාලයක් උමං මාර්ගයේ සිර වී සිටිය ද ඉන් පිටතට පැමිණෙනතුරු දැඩි ආත්ම විශ්වාසයෙන් හා ඉවසීමෙන් බලා සිටි සේවකයන් පිරිසට ද අගමැතිවරයා සිය ස්තුතිය පළ කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ උත්තර්කාසි දිස්ත්‍රික්කයේ පිහිටි ධර්සු නගරයේ දකුණු පළාතේ සිට උතුරු පළාත දක්වා කිලෝමීටර් 5කට ආසන්න දුර ප්‍රමාණයකින් සමන්විත එම උමං මාර්ගයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 200ක් ඇතුළතින් නාය යෑම සිදු වී තිබුණේ පසුගිය 12 වැනිදා පෙරවරු 5.30ට පමණය. එම සේවකයන්ට ඔක්සිජන්, වියළි ආහාර සහ ජලය සැපයීමට කුඩා නළ මාර්ග 3ක් සම්බන්ධ කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT