Home » ආර්ථිකයේ යම් ප්‍රගතියක් අත්කර ගත්තේ ආණ්ඩුව කළ රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමෙන්

ආර්ථිකයේ යම් ප්‍රගතියක් අත්කර ගත්තේ ආණ්ඩුව කළ රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමෙන්

2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක දෙසුමේදී ජනපති කියයි

by gayan
November 30, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

මෙරට ආර්ථිකයේ තිරසරභාවය වෙනුවෙන් රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ සියලුදෙනා කැපවී වැඩ කිරීමෙන් බිඳ නොවැටෙන ශක්තිමත් ආර්ථිකයක් කරා රට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පෙරේදා (28) ආරම්භ කෙරුණු 2023 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක ප්‍රධාන දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ මේ සමුළුව දෙදිනක් පුරා පැවැත්විණි.

පසුගිය වසරක කාලයේ ආණ්ඩුව කළ රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරට ආර්ථිකයේ යම් ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවත් එය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට අප පසුගිය වසරේ ගෙන ගිය වැඩපිළිවෙළ ආර්ථික ප්‍රතිසංස්කරණ ලෙස හැඳින්විය හැකිද කියා මා දන්නේ නැහැ. ප්‍රතිසංස්කරණ යන වචනයේ අර්ථය දෙස බැලුවොත් මීට සති කිහිපයකට පෙර අප ආර්ථිකයට කළේ ප්‍රතිසංස්කරණයක් නොවෙයි. එය සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමක්, එසේ නැතිනම් රැඩිකල් ප්‍රතිව්‍යුහගත කිරීමක ආරම්භය කීවොත් නිවැරැදියි. අපට ආපසු හැරීමක් නෑ. අප මෙය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

දැන් අප වැඩ කරන්න අවශ්‍යයි. අපට මේ නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ වැඩ කිරීමට සිදු වෙනවා. රටේ ආර්ථිකය ගොඩනැඟීම වෙනුවෙන් කළ මේ ගැඹුරු ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට අප මේ වන විට සමත් වී සිටිනවා.

අප පසුගිය මාස කිහිපයේ මෙරට සියලුම ණය හිමියන් සමඟ ඉතා හොඳ විශ්වාසයකින් යුතුව ඵලදායී සාකච්ඡාවල නිරත වුණා. ශ්‍රී ලංකාවට මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට හැකි වූයේ එහි විනිවිදභාවය සහ මනා විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම නිසයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය දුන් පළමු බැංකුව චීන එක්සිම් බැංකුවයි. එසේම නිල ණය හිමියන්ගේ කමිටුවත් ප්‍රතිපත්තිමය වශයෙන් සමාන එකඟතාවක් ඉතා ඉක්මනින් දෙයි කියා අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ සාකච්ඡාවලට ඇතුළත්ව තිබෙන්නේ අප රටක් ලෙස ඉදිරියේ දී ක්‍රියාත්මක කරන ආර්ථික මූලධර්මයි. අප එයින් ඉවත් වුවහොත් අපේ ණය හිමියන් ඊට විරුද්ධව ක්‍රියාත්මක වීමට පෙලඹෙනවා. ඒ අනුව අපට මේ ගිවිසුම්වල පවතින රාමුව ඇතුළත වැඩ කිරීමට වෙනවා.

මොකද අපට මේ දිගුකාලීන ගිවිසුම අහිමි වුවහොත් ඊළඟට බලයට පත්වන ආණ්ඩුව කවුරු වුවත් රටේ ආර්ථික කඩාවැටීම නැවැත්වීමට කිසිවකුට නොහැකි වෙනවා. ඒ නිසා අප මේ ආර්ථික රාමුව තුළ කටයුතු කළ යුතුයි. එය රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමක් බව කිව යුතුයි. ඒ වගේම අප තරගකාරී ආ‍ර්ථිකයකට යා යුතුයි.

ආර්ථික අර්බුදය පැවැති කාලයේ වේදිකා මත සිට විසඳුම් ගැන කතා කළ දේශපාලන නායකයන් මේ වැඩපිළිවෙළට එකඟ නැහැ. නමුත් ඔවුන් කිසිදු විසඳුමක් මේ වන විට ඉදිරිපත් කරලත් නැහැ. රටක් ලෙස හැමදාම බංකොලොත් වී සිටිය නොහැකියි. ඒ නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට අප මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

අප තරගකාරී වීමට අකමැති නිසා අපනයන ආර්ථිකයකට සූදානම් නැහැ. නමුත් අපට එලෙස ඉදිරියට යා නොහැකියි. අපට ලැබෙන අන්තිම අවස්ථාව මෙයයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් මේ නව ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ කටයුතු කළ යුතු වෙනවා.

අප එයින් ඉවත් වුවහොත් තවත් වසර 10කින් නැවත මේ රට ආර්ථික අර්බුදයකට මුහුණදීම වැළැක්විය නොහැකියි. අප කිසිවෙක් නැවත එම තත්ත්වයට යාමට කැමැති නැහැ. ඒ නිසා ඔබ සියලුදෙනා ඉතා තරගකාරී විය යුතුයි. අප නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබෙනවා. එසේ නම් අප තරගකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියටම යා යුතුයි.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා විසින් මෙහෙයවනු ලැබූ විද්වත් සාකච්ඡාවකටද එක්විය. ඊට ඉන්දීය ක්‍රමසම්පාදන කොමිෂන් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති මොන්ටෙක් සිං අලුවාලියා මහතා ද එක්විය.

එහිදී ජනාධිපතිවරයා වෙත යොමු කළ ප්‍රශ්න සහ දුන් පිළිතුරු පහත පරිදි වේ.

ප්‍රශ්නය – ජනාධිපතිතුමනි! බදු ප්‍රතිශතය18% දක්වා ඉහළ යනවා අප දැක්කා. සුරාබදු හා රේගු දෙපාර්තමේන්තු ඇතුළු සියලුම ආකාරයේ බදු පදනම පුළුල් කිරීම සඳහා දැනට තිබෙන සැලැස්ම කුමක්ද ?

පිළිතුර – අප ඒ සම්බන්ධයෙන් දැනට කටයුතු කරගෙන යනවා. එසේම ආදායම් අධිකාරියක් පිහිටුවීමට අප පියවර ගෙන තිබෙනවා. ඒ වගේම බදු පදනම පිළිබඳ නව නීති රැසක් ඉදිරි මාස කිහිපයේ ගෙන ඒමට අපේක්ෂා කරනවා.

එක රැයකින් මේ සමස්ත ක්‍රියාවලිය කළ නොහැකියි. මේ සඳහා වසර දෙක තුනක් අවශ්‍යයි. නමුත් අප මේ වන විට සැලකිය යුතු වෙනස්කම් සිදු කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය යුගයේ මෙන්ම 1970 ගණන්වල මුල් භාගයේදීත් අපට දිස්ත්‍රික් ආදායම් නිලධාරියෙක් සිටියා. ආදායම් එකතු කිරීමේ වගකීම ඔවුන් භාර ගත්තා. ඔවුන්ට සහායවීමට රජයේ නියෝජිතයෙක් සිටියා. ඔවුන් යම් ආදායම් එකතු කිරීමක් කළා. කෙසේ නමුත් දිස්ත්‍රික් ලේකම්වරයා මඟින් මුදල් උපයා ගන්නා අන්දම සොයා බලනවා වෙනුවට මුදල් වියදම් කරන අන්දම විමසා බැලීමේ ක්‍රමවේදයක් අවසානයේ රටේ සකස් වුණා. ඒ නිසා බදු එකතු කිරීම සම්බන්ධයෙන් යම් ප්‍රාදේශීය ක්‍රමවේදයකට යාමට අපට සිදු වෙනවා. එය ඒකාබද්ධ කිරීමේ හෝ දිස්ත්‍රික් ආදායම් නිලධාරී යන ක්‍රමවේදවලින් එකකට සමාන විය හැකියි. එය සංකීර්ණ ක්‍රියාවලියක් වුවත් එය සිදුකළ හැකි කාර්යයක් බව මට විශ්වාසයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා. පාලන ව්‍යුහය වැඩි දියුණු කිරීම එහි ප්‍රධාන නිරීක්ෂණවලින් එකක් ලෙස පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය අංශයේ පාලන ව්‍යුහය වැඩි දියුණු කිරීමට රජය ගෙන ඇති පියවර මොනවාද?

පිළිතුර – මේ වාර්තාව තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අප එය සිංහල සහ දෙමළ භාෂාවලට පරිවර්තනය කරනවා. මහා භාණ්ඩාගාර ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළ පරිදි එහි තාක්ෂණික වචන රැසක් තිබෙනවා. එවැනි වාර්තාවක් පරිවර්තනය කිරීමට යම් කාලයක් ගත වෙනවා. නමුත් මම හිතන්නේ අපට එය ලබන ජනවාරි මාසය වන විට ලබා දීමට හැකියාව ලැබේවි.

ඒ වගේම ඒ වාර්තාවේ නිර්දේශ සහ කටයුතු අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවක් පත් කරනවා. එය ඉතා විනිවිදභාවයෙන් යුතු ක්‍රියාවලියක් බව කිව යුතුයි.

අප තවමත් භාවිත කරන්නේ බ්‍රිතාන්‍ය යුගයේ සකස් කරන ලද ව්‍යුහයන්. ඒ නිසා මේ සමස්ත නියාමන පද්ධතියම නැවත සකස් කිරීම පිළිබඳ අප අවධානය යොමු කළ යුතුව තිබෙනවා. සත්‍ය ලෙසම එය නවීකරණය කළ යුතුයි. නමුත් ඒ සඳහා කෙටි කාලයක් ගත වෙනවා.

ප්‍රශ්නය – මේ වන විට තායිලන්තය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එම සාකච්ඡාවලට අදාළව මේ වන විට ලබා ඇති ප්‍රගතිය කුමක්ද?

පිළිතුර – අප මේ සම්බන්ධව සිංගප්පූරුව සමඟ යම් නිගමනයකට පැමිණ තිබෙනවා. මැලේසියාව අප සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමට කැමැත්ත පළ කර තිබෙන නිසා අප ඔවුන් සමඟත් සාකච්ඡා ආරම්භ කරනවා.

ඒ වගේම අප කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත් වීමට ඉල්ලුම් කර තිබෙනවා. ඔවුන් අපට දැනුම් දී ඇත්තේ අපව මේ සඳහා සම්බන්ධ කර ගැනීමට කැමැති නමුත් ඒ සඳහා යම් ක්‍රියා පටිපාටියක් සකස් කර ගත යුතුව තිබෙනවා කියලයි. ඒ වගේම දැනට ඔවුන්ට නව සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නැති බවත් දැනුම් දී තිබෙනවා. ඒ නිසා මේ කටයුත්තට යම් කාලයක් ගතවේවි.

අපට ඉන්දියාව සමඟ නැවත සාකච්ඡා ආරම්භ කළ හැකියි. නමුත් දැන් ඔවුන්ට ආයෝජන සහ වෙළෙඳාමට අදාළව වෙන වෙනම ගිවිසුම් අවශ්‍යයි කියා ඉන්දියාව අපට දැනුම් දී තිබෙනවා.

දැන් අප වෙළෙඳාම සම්බන්ධයෙන් අදාළ සාකච්ඡා කරගෙන යනවා. එම සාකච්ඡා අවසන් වූ පසු අප බංග්ලාදේශයත් සමඟත් සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. ඒ අතරම, RCEP සමඟත් අප සාකච්ඡා කරනවා.

චීනය අවුරුදු හතක් පුරා අපත් සමඟ සාකච්ඡා කළා. ඉතින් අපි දැන් එම ගිවිසුම් අත්සන් කරන්න පටන්ගෙන තිබෙනවා. මෙලෙස බලන විට අප ඉදිරි වසර පහක් හයක් ඇතුළත ලෝකයට විවෘත වෙනවා. නමුත් චීනය සම්බන්ධයෙන් අපට තව කාලයක් අවශ්‍යයි කියා අප ස්ථාවරයක සිටිනවා. ඒ වගේම යුරෝපා සංගමය, GSP+ සහ ඉන් ඉදිරියට යෑමට අප අපේක්ෂා කරනවා. ඒ වගේම අප ඉදිරියේදී නැඟෙනහිර සහ දකුණු අප්‍රිකා රටවල් සමඟත් සාකච්ඡා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන, හිටපු මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු සහ දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT