Home » මත්පැන් අලෙවිසල් පහක් අලුතින් ඇරලා: දිගන ප්‍රදේශවාසීහු විරෝධයේ

මත්පැන් අලෙවිසල් පහක් අලුතින් ඇරලා: දිගන ප්‍රදේශවාසීහු විරෝධයේ

by gayan
November 30, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ
දිගන නගරයේ නව මත්පැන් අලෙවි සැල් පහක් ආරම්භ කිරීමට විරෝධය දක්වමින් සර්වාගමික නායකයින් ඇතුළු පිරිස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි අයුරු.

කුණ්ඩසාලේ දිගන නගරයේ නව මත්පැන් අලෙවි සැල් පහක් ආරම්භ කිරීමට එරෙහිව සර්වාගමික නායකයන් සමඟ එක්ව ප්‍රදේශවාසීහු කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඊයේ (29) පැමිණ විරෝධතාව පළ කළහ.

එම අවස්ථාව වන විටත් නව මත්පැන් අලෙවි සැල් පහක් ආරම්භ කිරීමට අදාළව විරෝධතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙමින් තිබිණි. කුණ්ඩසාලේ සර්වාගමික සංසදය නමින් පෙනී සිටි පිරිසක් මෙම විරෝධතාව මෙ‍ෙහයවූහ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විරෝධතා විමර්ශනය කරමින් සිටියදී මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික නායකයෝද ප්‍රදේශවාසීහු ද සුරාබදු නිලධාරීන්ට විරෝධය දැක්වූහ. ඒහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

මත්ද්‍රව්‍ය නිසා පවුල් ආරවුල් ඉහළ ගොස් තිබෙන බවත් ඊට සමාන්තරව නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියා උත්සන්න වී තිබෙන බවත් කී පාතදුම්බර හා මැදදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය තල්පොත ධම්මජෝති හිමියෝ ප්‍රදේශයේ තිබෙන මත්පැන් අලෙවි සැල් වසා දැමීමට ඉල්ලීම් කරත්දී තවත් අලුතින් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට යාම කනගාටුවට කරුණක් යැයිද අවධාරණය කළහ.

අලුතින් මත්පැන් අලෙවි සැල් විවෘත කිරීමට යන ස්ථාන ආසන්නයේ පාසල්, ආගමික ස්ථාන මෙන්ම උසස් අධ්‍යාපන ආයතන ද තිබෙන්නේ යැයි උන්වහන්සේ කීහ.

මත්පැන් බලපත්‍ර නිකුක් කිරීමට අදාළ විරෝධතා විමර්ශනය කිරීම ආවරණය නොකරන ලෙස මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂ මහතා ඇතුළු සුරාබදු නිලධාරීන් විසින් මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් සමන්ති නාගස්තැන්න මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT